නොරොච්චෝලේ යන්ත්‍රයක් අක්‍රීයයි: විදුලි කප්පාදුව පැය 3 ට නගී

88

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක් අක්‍රියවීම නිසා අද (16දා) සිට දෛනිකව සිදුකරන විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අනිවාර්ය අලුත්වැඩියාව සඳහා නතර කර තිබේ. ඉතිරි යන්ත්‍ර දෙකෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 540ක් සපයමින් තිබූ අතර ඊයේ (15දා) එක් යන්ත්‍රයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම යන්ත්‍රය නතර කිරීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි විය.

එම යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති. ඒ අනුව මෙතෙක් දෛනිකව සිදුකළ පැයයි විනාඩි 20ක් වූ විදුලි කප්පාදුව අද සිට පැය 03ක් පමණ විය හැකි යැයි ගණනය කර ඇත. දෝෂයට ලක්වූ යන්ත්‍රය සෙල්සියස් අංශක 1000ක පමණ උෂ්ණත්වයක පවතින අතර එය අලුත්වැඩියා කිරීම සඳහා අංශක 60 ට පමණ සිසිල් විය යුතු යැයි ද ඉංජිනේරුවෝ පවසති.

යුගදනවි හා අනෙකුත් බලාගාර මගින් සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

චමින්ද සිල්වා සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment