රටේ ප්‍රධාන පක්ෂ දෙක තුන රටේ ධනය කොල්ලකෑම වහා නතර කළ යුතුයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

153

දේශාපාලන හොරු රැළක් ප්‍රධාන පක්ෂ දෙක තුනකට බෙදී රටේ ධනය මංකොල්ලකෑම වහා නතර කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

රටත් ජනතාවත් විනාශය කරා ගෙන ගොස් ඇති හොරුන්ට දඬුවම් දෙන වෙනස සිදුකළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවත් කී හෙතෙම ඔවුන්ට දඬුවම් දෙනවා විතරක් නොව මහජනයාගෙන් සොරකම් කළ සෑම සතයක්ම නැවත ලබාගන්න කටයුතු කරන බවත් අවධාරණය කර සිටියේය.

අනුර කුමාර දිසානායක මහතා පෙරේදා(21)දා එම අදහස් පළ කලේ මාලිගාවත්තේ පැවැති ජන හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් පාලනයේ වෙනසක් අපේක්ෂාවෙන් විවිධ ආණ්ඩු පත්කර ගත්තා. හැබැයි කිසිඳු වෙනසක් සිදු වෙලා නැහැ. හිටපු අය හොරකම් කළා, මහජනයාගේ ධනය නාස්ති කළා, වංචනිකයන් ආරක්ෂා කළා, ජාතිවාදය ඇවිස්සුවා, රටේ ජාතික සම්පත් විකුණුවා, ලෝකෙන් ණය අරගෙන අපේ රට ණය උගුලක හිර කළා, අපේ රටේ ආර්ථිකය කඩා වැට්ටුවා. ජනතාව මේවායේ වෙනසක් ප්‍රාර්ථනා කොට අලු‍ත් ආණ්ඩු හැදුවා. ඒ ආණ්ඩුත් අර දූෂණ තවදුරටත් සිදුකළා. ඒත් කිසිදු වෙනසක් වෙලා නැහැ. අපි හිතට, ඇඟට, රටට දැනෙන වෙනසක් කරමු. මාලිමාව අරගෙන එන්නේ ඒ වෙනසයි. මේ රටේ මහජනයාගේ ධනය හොරකම් කරනවා වෙනුවට මහජනයාගේ ධනය ආරක්ෂා කරන දේශපාලනය ගොඩනඟමු. රටේ හොරකම් නතර කරන දේශපාලනයක් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.

හොරකම නතර කිරීම පමණක් නොවෙයි හොරකම් කළ අයට දඬුවම් දීමත් කළ යුතුයි, යන්න ජනතා ප්‍රාර්ථනයයි. ඒ ජනතා ප්‍රාර්ථනය ඉටු කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ජනතාව රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා බලයට ගෙනාවේ රාජපක්ෂලා හොරකම් කරපු ධනය ආපසු ගැනීමේ බලාපොරොත්තුවෙන්. හොරුන්ට දඬුවම් දීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඔවුන් දෙගොල්ලන්ම එකතු වෙලා ආණ්ඩු කළා. ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ඡන්දය දීලා බලයට ගෙනාවා, මහ බැංකුව මංකොල්ලකෑව රනිල්ට දඬුවම් දෙන්න කියලා. අද වෙලා තියෙන්නේ රනිල්ට දඬුවම් දෙනවා වෙනුවට ජනාධිපතිකම දීමයි. හොරකම් කරන්නේ පාලකයෝ පමණක් නොවෙයි; චෞර ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙකුත් ඉන්නවා. මේ ගොල්ලෝ කෝටි ප්‍රකෝටි

ගණන් එක්රැස් කර ගත්තා. අද ඉස්පිරිතාලේ බෙහෙත් නැතිව අම්මා, තාත්තා මියැදෙනවා. දරුවාට පාසල් යන්න අවශ්‍ය දේවල් අරගෙන දෙන්න දෙමව්පියන්ට නොහැකි වෙලා තිබෙනවා. ගැබිණි අම්මලාට අවශ්‍ය ආහාර වේලක් ලබාගන්න නොහැකි වෙලා. ත්‍රීවිල් රියදුරාට හයර් එක නැහැ. කඩේ මුදලාලිට බිස්නස් එක නැහැ. රස්සා බලාපොරොත්තුව ඉන්න තරුණයන්ට රස්සා නැහැ. මෙහෙම වෙලා තියෙන්නේ පාලකයෝ මහජනතාවගේ ධනය එක්රැස් කර ගත්ත නිසයි. කාලෙන් කාලෙට ආණ්ඩු පත්කර ගත්තා. හොරකමට දඬුවම් දුන්නේ නැහැ. වෙනසක් සිදුවුණේ නැහැ. හොරුන්ට දඬුවම් දෙන වෙනස සිදුකළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. දඬුවම් දෙනවා විතරක් නොවෙයි මහජනයාගෙන් සොරකම් කළ සෑම සතයක්ම නැවත ලබාගන්න අපි කටයුතු කරනවා.

මේ කොළඹ ආසනයේ පැතිරෙමින් තිබෙන මත්ද්‍රව්‍ය වසංගතය නතර කළ යුතුයි. රට පුරාම මාරාන්තික වසංගතයක් ලෙස මත්ද්‍රව්‍ය පැතිරෙමින් තිබෙනවා. හෙරොයින් කිලෝ එකක් රුපියල් කෝටියක් වෙනවා. හෙරොයින් ගෙන්වන්නේ කිලෝ දෙසීය, තුන්සීය ගානේ. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට හැකියාවක් නැහැ, කෝටි ගණන් බිස්නස් කරන්න. එවැනි ව්‍යාපාරයක් කළ හැක්කේ ඉහළ ව්‍යාපාරිකයන්ට පමණයි. පාලකයන්ගේ සමීපතමයන් තමයි මේ කුඩු ව්‍යාපාරය පිටිපස්සේ ඉන්නේ. කුඩු පැකට් එකක් ගහපු කෙනා බන්ධනාගාරය ඇතුලේ. ග්‍රෑම් දෙකක් තුනක් අතේ තබාගෙන සිටි කෙනා ඇතුලේ. කුඩු මේ රටට ගෙනාපු කෙනාට දේශපාලන රැකවරණය තිබෙනවා. දේශපාලකයෝ ඔවුන්ව ආරක්ෂා කරනවා.

අපේ දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා තමන්ගේ ජීවිත විනාශවුණාට,බන්ධනාගාර ගතවුණාට, ගෙදර සේසත වියදම් කරලා පවුල් පිටින් විනාශ වුණාට පාලකයන්ට කමක් නැහැ. මේ කුඩු ව්‍යාපාරයෙන් විශාල ධනයක් එකතු කරනවා. මේ රැස්කරන ධනය ඡන්ද කාලයට වියදම් කරනවා.

පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආයතන ශක්තිමත් කරන්න ඕනෑ. පොලිසිය අධිකරණය

ගැන ජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. පොලිසියෙන්, අධිකරණයෙන් සාධාරණය ඉටුවේවිද කියා සාධාරණ සැකයක් තිබෙනවා. රට දියුණු වෙන්න නම් ජනතාවට නීතිය, විනය, සාධාරණය ඉටුවෙන්න ඕනෑ. ඒක ඉටුකරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පමණයි. ධනයට, බලයට, දුප්පත්, පොහොසත් බේදයකින් තොරම සැමට එක හා සමානව සාධාරණය ඉටුවෙන නීතියක් ඕනෙ. ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙම. ඒක තමයි අනික් ආණ්ඩුවලට වඩා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් වෙනස් වෙන්නේ.

අපේ රටේ පොලිසියේ ඉතාම දක්ෂ නිලධාරීන් ඉන්නවා. අපරාධ නීතිය පිළිබඳ හොඳින් කටපාඩම් කර තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය කටපාඩම් කර තිබෙනවා. අපරාධ පිළිබඳ හොඳ ඉවක් තිබෙනවා. හොඳ පුහුණුවක් ලබා තිබෙනවා. දැනුම තිබෙනවා. ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන්කම තිබෙනවා. එහෙත් අපේ රටේ නීතිය, විනය ඇති කරන්න බැරිවෙලා තිබෙනවා. විනය නැතිකර තිබෙන්නේ දේශපාලනයෙන්. දේශපාලනයෙන් ඉවත්කර, තමන්ගේ යුනිෆෝම් එකේ ගෞරවය තබාගෙන නීතිය ඉටුකළ හැකි ස්වාධීන පොලිසියක්, සහිත රටක් අපි හදනවා.

මේ රටේ පාලකයෝ බලය ලබා ගන්නත්, බලය ආරක්ෂා කර ගන්නත් ජාතිවාදය වැපිරුවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ විවිධ ජන කණ්ඩායම් ජීවත්වෙන, විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතීන් සහිත ජනතාවක් වෙසෙන රටක්. මෙවැනි රටක සංවර්ධන මාවත විය යුත්තේ එකිනෙකා අතර ඇතිවෙන සමගිය තුළින් පමණයි.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment