රාජ්‍ය ඇමැති කතා කළ පළියට නීති විරෝධීව රටට ඇතුළු වීමට තැත් කළ අයකුට ඉඩදීම වරදක් – ඇමැති ටිරාන් කියයි

270

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත කටුනායක ගුවන් තොටුපළින් නිදහස් කළ චීන ජාතිකයා සතුව ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබී ඇතැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ (22 දා) පැවසීය.

ඔහු සතුව එසේ චීන සහ පැපුවානිව්ගිනියා යන රටවල් දෙකට අයත් ගුවන් ගමන් බලපත්‍ර තිබීම ද වරදක් බවත් ඔහු ගුවන් තොටුපළෙන් නිදහස් කර ඇත්තේ චීන ගුවන් ගමන් බලපත්‍රය අනුව බවත් ඇමැතිවරයා කීය.

රාජ්‍ය ඇමැතිවරයෙක් හෝ වෙනත් ඕනෑම අයෙක් කතා කළ පළියට නීති විරෝධීව රටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකුට ඊට අවස්ථාව ලබාදී ඇත්නම් එය බරපතළ වරදක් බවත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවසීය.

ඇතැම් අවස්ථාවල විවිධ අවශ්‍යතා සඳහා ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් පමණක් නොව මාධ්‍යවලින් ද ඉල්ලීම් ලැබෙන බවත් ඒවා ඉටුකළ හැකිද යන්න සිතා බැලීම නිලධාරීන් සතු වගකීමක් බවත් ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් නිදහස් කෙරුණු චීන ජාතිකයා චීන තානාපති කාර්යාලයට ගෙන්වා චීන තානාපති කාර්යාලය සමග ඉදිරියේදී ගනු ලබන තීරණය ගැන ඊයේ සාකච්ඡා කරන බවද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment