රටට අවශ්‍ය මාළු නැති නම් කොහෙන් හරි ගේන්න එපැ
ධීවර සංස්ථාවේ සභාපති ඩී. වී. උපුල්

චීනෙන් මාළු ගෙන්වන්නෙ මාළු හිඟකම නිසා නෙමෙයි කොමිස්වලට තියෙන පෙරේතකම නිසයි…
ධීවරයන්ගේ පොදු හඬ

සීෂෙල්ස් රටෙන් මාළු අපනයනය කරලා ප්‍රති අපනයනය කරන්නත් අවසර දීලා…

මාළු මිල අඩුවීමේ වාසිය ගන්නෙ අතරමැදි වෙළෙන්දො…

ධීවර බෝට්ටු කුණු කොල්ලයට විකිණෙනවා…

විදේශීය වෙළෙඳපොළේ මාළු ඉල්ලුමත් අඩු වෙලා…

ළඟ, ළඟම අලුත් ධීවර පනතක්…

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල රට වටා මුහුදෙන් මා ළු අස්වැන්න හොඳටම ලැබෙන කාලයකි. මෙවර ද රට වටෙන්ම හොඳ මාළු අස්වැන්නක් ලැබෙමින් තිබේ. විකුණගැනීමට නොහැකි තරමට මාළු තොග ලැබෙමින් තිබේ. ධීවර වරායන්වල පොඩි මාළු කිලෝව රුපියල් 50 ට 60 ත් දී ගන්න බැරි තරම්ය. පසුගිය අඟහරුවාදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සාලයා කිලෝව රුපියල් 150 කි. හුරුල්ලො කිලෝව 300 කි. බෝල්ලු, ලින්නො කිලෝව රුපියල් 350 කි. පරව් කිලෝව රුපියල් 700 කි. බලයා කිලෝව රුපියල් 800 කි. කෙළවල්ලා කිලෝව 1200 කි. එහෙත් නගරයේ මාළු කඩේ, ගමේ තට්ටුවේ මාළු මිල අශ්ප ගානට පොඩ්ඩක් අඩුය. මේ රටේ අතරමැදි වෙළෙඳ මාෆියාව ගැන කතා කිරීම ඇඟේ මාළු රත් කිරීමකි. එහෙයින් ඒ ගැන කතා නොකර මාළු මිල කුණු කොල්ලයට වැටී තිබෙන මෙවන් පසුබිමක චීන රටෙන් මාළු ආනයනය කරන අරුම පුදුම කරුමක්කාර කතාව ගැන අවධානය යොමු කිරීමට අපි අදහස් කළෙමු.

වාර්තා වන ආකාරයට මෙරට ධීවරයන්ට නෙළාගත නොහැකි, ඉතා දුර්ලභ ගණයේ මසුන් ආනයනය කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය විසින් ධීවර සංස්ථාවට අවසර ලබාදී තිබේ. එසේ මාළු ආනයනය කිරීමේදී කිසිදු වංචාවක් සිදුනොවිය යුතු බවත්, වංචාවක් සිදු වුවහොත් ඔවුන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කරන බව ද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා යාපනයේ පැවැති සාකච්ඡාවකදී මාධ්‍යයට පවසා තිබිණි. චීන රටෙන් ආනයනය කිරීමට තරම් මෙරට මහ මුහුදේ දුර්ලභ වූ මසුන් මොනවාදැයි දැනගැනීම සඳහා ධීවර සංස්ථාවේ සභාපති ඩී. වී. උපුල් මහතාට දුරකථනය ඔස්සෙ අපි කතා කළෙමු. පහතින් පෙළගැසෙනුයේ අපේ ප්‍රශ්නවලට ඔහු ලබාදුන් පිළිතුරු ය.

රට වට කර මහ මුහුදෙන් හොඳ මාළු අස්වැන්නක් ලැබෙමින් තිබෙන මේ දිනවල චීනෙන් මාළු ආනයනය කරන්නෙ ඇයි…?ඔබතුමා අහන ප්‍රශ්නයට මාළුවලින් උත්තර දෙන්න ඕනද? වෙන විදිහකින් උත්තර දෙන්න ඕනද? අපේ පැනයට සභාපතිවරයාගෙන් සැර පිළිතුරකි.

‘ඔබ කැමැති විදිහට උත්තර දෙන්න…’ මම කෙටි පිළිතුරක් දුන්නෙමි.

“ලංකාවේ මාළු වාරෙට වැඩියෙන්ම අහු වෙන්නෙ සාලයා, සූඩයා, ලින්නා සහ අලගුඩුවා. තලපත්, කොප්පරා මාළු ලංකාවේ මුහුදෙන් අහුවෙන්නෙ රටට අවශ්‍ය ප්‍රමාණයෙන් 1% යි. මාර්තු, අප්‍රියල්, මැයි මාසවලදී බහුදින ධීවර යාත්‍රාවලින් තලපත්, කොප්පරා මාළු ටිකක් ගේනවා. ඒවා මිල වැඩියි. අවුරුදු 23 ක කාලයක ඉඳලා ධීවර සංස්ථාවට තලපත්, කොප්පරා මාළු ලැබුණේ අතරමැදියන්ගෙන්. කිලෝව 1750 යි. ඔවුන් ගෙන්වන්නෙත් පිටරටකින්. බොහෝවිට චීනයෙන්. දැන් අපි කරන්නෙ අතරමැදියො නැතිව සෘජුවම ධීවර අමාත්‍යාංශය හරහා චීනෙන් තලපත් කොප්පරා මාළු ආනයනය කිරීම. දැන් මාළු කිලෝවක් 1275 යි. ඒකෙ වැරැද්දක් තියෙනවද? ඒ වගේම ධීවර සංස්ථාවට ලැබෙන තලපත්, කොප්පරා මාළු දෙන්නෙ රෝහල්වලට. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ මාළු තොග ලබාදෙන්න ඕනෑ…”

රට වට කර මහ මුහුද තිබියදී, මෙරට ජනගහනයෙන් මිලියන දෙකකට වැඩි පිරිසක් ධීවර කර්මාන්තයේ නියැළී සිටියදී, ඩොලර් ගැටලු, ආර්ථික අර්බුද තිබෙන මෙවැනි පසුබිමක චීනෙන් මාළු ආනයනය කිරීම කාලෝචිතද?

“නෑ… ඒත් රටට අවශ්‍ය මාළු නැති නම් කොහෙන් හරි ගේන්න එපැ. ධීවර සංස්ථාවට අවශ්‍ය තලපත්, කොප්පරා මාළු ටික මෙරට ධීවරයන්ගෙන් ලැබෙනවා නම් චීනෙන් ආනයනය කරන්න අවශ්‍ය වෙන්නෙ. ඒත් අපිට අවශ්‍ය මාළු තොග ලැබෙන්නෙ නෑ…”

පිටරටින් මාළු ආනයනය කිරීමට වැය කරන ඩොලර් වියදම් කරලා ධීවරයන්ට සහන ලබාදෙමින් රටේ ධීවර කර්මාන්තය නැංවීමට කටයුතු කළා නම් නරකද?

“ධීවරයන්ට සහන දෙන්න ඕන තමයි. භූමි තෙල් සහනාධාර දීලා තියෙනවා. මේ රටට වැරැදුනෙත් පිටරටින් ණයට අරගෙන ජනතාවට සහනාධාර දීම නිසා තමයි. රටේ ජනතාව සතුටින් සහන අරගෙන, රටේ ණය ගොඩ ගැසුනට පස්සෙ උද්ඝෝෂණ කරලා, අරගල කරලා මේ රටේ සල්ලි තොපි කෑවද කියලා අහනවා. ධීවරයන්ට සහනාධාර දෙනවට වඩා හොඳම දේ මුහුදෙ මාළු බෝ කිරීමට කටයුතු කිරීමයි. ඒ වගේම මාළු වර්ග කරලා ධීවරයන්ට බලපත්‍ර ලබාදීමයි. එතකොට ධීවරයන්ට මාළු අල්ලන්න පුළුවන් අදාළ වර්ගය විතරයි…” ධීවර සංස්ථාවේ සභාපති ඩී. වී. උපුල් මහතාගේ පිළිතුරු, යෝජනාවලට ලුණු, ඇඹුල් එකතු කිරීමෙන් වැළකී මෙරට මුහුදුකරයෙන් ගලාගෙන එන ධීවරයන්ගේ පොදු හඬට අපි සවන් දී සිටියෙමු.

“ධීවර සංස්ථාව කියන විදිහට තලපත්, කොප්පරා මාළු දෙන්නෙ රජයේ රෝහල්වලට, හමුදාවට. ඒ මාළු වෙනුවට අපේ මුහුදෙන් නෙළාගන්න ඒ සමාන මාළු ඕන තරම් තියෙනවා. විකල්පයක් විදිහට තලපත්, කොප්පරා මාළු වෙනුවට ඒ මාළු දෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ ධීවරයන්ගෙ මාළු ගත්තට, ඇමැතිවරුන්ට, නිලධාරීන්ට කොමිස් ලැබෙන්නෙ නෑ. මෙතැන තියෙන්නෙ මාළුවල ගැටලුවක් නෙමෙයි, කොමිස්වල ප්‍රශ්නයක්. ඉන්ධන අර්බුදයෙන්, භාණ්ඩ මිල ඉහළ යෑමෙන් බිත්තියටම හේත්තු වෙලා ඉන්න ධීවරයන්ට මේ මාස කිහිපයේදී මාළු අස්වැන්න සරුවට ලැබිලා පුංචි අස්වැසිල්ලක් ලැබුණා. එවැනි අවස්ථාවක චීනෙන් මාළු ගෙනත් වෙළෙඳපොළට නිකුත් කරනවා කියන්නෙ අපේ ධීරයන්ව ගෝනියක දාලා පොළවෙ ගහනවා වගේ වැඩක්. මේ රජය විතරක් නෙමෙයි, පහුගිය කාලය පුරාවට පත් වෙච්ච ආණ්ඩුවල ධීවර බලධාරීන් කර්මාන්තය කොමිස්වලට පිටරටට විකුණුවා. තවමත් ඒ ක්‍රමය වෙනස් වෙලා නෑ. පත්වෙන ඇමැති, රාජ්‍ය ඇමැති, සභාපතිවරු, නිලධාරීන් ධීවර කර්මාන්තය සම්බෝල හදාගෙන කනවා…” රට වට කර මහ මුහුදෙ ධීවර රස්සාවේ නිරතව සිටින ධීවරයන් කිහිපදෙනෙක්ම උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළහ. ඒ හඬ දෙසවනට වේදනාකාරී බව සැබෑය. හදවතට බර වැඩිය. එහෙත් එම කතාවේ සංක්‍ෂිප්තයක් සටහන් තැබිය යුතුමය.

හිටපු ධීවර ඇමැතිවරයෙකුගේ සටකපට තකතීරු ඩීල් එකක ප්‍රතිඵලයක් ලෙස මෙරට ධජය සහිතව විදේශීය නැව්වලට ජාත්‍යන්තර මුහුදෙ ධීවර කර්මාන්තයේ නිරතවීමට අවසර ලබා දුන්නේය. එකී අවසරය ලැබුණු විදේශීය ධීවරයො මෙරට ධජය සහිතව තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මුහුද කොල්ල කෑහ. ජාත්‍යන්තර ධීවර නැව්වලින් සිදු කරගෙන ගිය මුහුදු කොල්ලයට විරුද්ධව මෙරට ධීවරයන් කොතරම් විරෝධය පෑව ද එවකට හිටපු ධීවර බලධාරීහු කනකට නොගත්තහ. අවසානයේ යුරෝපයේ අපේ මාළු තහනම් විය. මෙරට ධීවර කර්මාන්තය නන්නත්තාර විය. කෙසේ හෝ යුරෝපා තහනම ඉවත් විය. එහෙත් ‘පරණ සිස්ටම්’ එක වෙනස් නොවිණි. අලුත් ක්‍රම ඔස්සේ ‘ඩීල්’ ධීවර කර්මාන්තය ජයටම කෙරිණි. ඒ අතර මුහුදු කූඩැල්ලන් බෝ කිරීමට උතුරේ මුහුද චීනයට බදු දීම සුපිරි ඩීල් එකකි. චීන්නු විසින් මුහුද කොටු කර කූඩැල්ලො වගා කිරීම සහ ඉන්දීයන් ධීවර බෝට්ටු පට්ටි පිටින් උතුරු මුහුදට ඇතුළු වී තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මාළු කොල්ලකාගෙන යෑම තුළ උතුරේ ධීවරයන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව වාර්තා වේ. ඒ අල්ලපනල්ලෙ චීනෙන් තලපත්, කොප්පරා මාළු ආනයනය කිරීම ද කබලෙන් ළිපට වැටුණු ධීවරයන්ව අලුපල්ලෙ හොම්බ තද කිරීමක් වැනිය. තලපත්, කොප්පරා මාළු අස්සෙ තව මොන, මොන මාළු රට තුළට රිංගනවද යන්න දන්නෙ මාළු තොග ගෙන්වන අය පමණි. එමෙන්ම ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟ ධීවර බෝට්ටු ධාවනයට යොදාගන්නා ඉන්ධනවල සිට සියලුම අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම තුළ බහුදින ධීවර යාත්‍රාවක් දියඹට පිටත් කර හැරීමට රුපියල් ලක්‍ෂ හැටක්, අසූවක් අතර මුදලක් වියදම් කිරීමට සිදු වී ඇති බව ද සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් ප්‍රනාන්දු අප සමඟ පැවසුවේය.

රට වට කර මුහුද යාළු… අපට කවයි චීන මාළු

“බහුදින ධීවර කර්මාන්තයේ නිරත බහුතරය කරන්නෙ ගැඹුරු මුහුදට ගිහින් මාස ගණන් රස්සාව කරලා ටූනා මාළු අල්ලගෙන ඇවිත් විදේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම. මේ කාලයේ බහුදින ධීවර කර්මාන්තයේ මාළු අස්වැන්න අඩුයි. මේ අවුරුද්ද පුරාවට හරියට මාළු අස්වැන්නක් ලැබුණේ නෑ. වෙන අවුරුදුවල මාළු කූරි 150, 200 ගේන බෝට්ටුවල මේ අවුරුද්ද පුරාම ගෙනාවේ මාළු කූරි 50 යි 60 යි. මුහුදෙන් ලැබෙන අස්වැන්න අඩු වෙනකොට විකල්පයක් විදිහට සීෂෙල්ස් රටෙන් මාළු ආනයනය කරලා ප්‍රති අපනයනය කරන්න මාළු පිටරට යවන කොම්පැණිවලට අවසර දීලා තියෙනවා. මාළු පිටරට යවන ප්‍රධාන සමාගම් කිහිපය සීෂෙල්ස්වලින් මාළු ආනයනය කරලා අපේ රටේ මාළු වගේ පිටරටවලට යවනවා. ඒක නෙමෙයි නේ වෙන්න ඕනෑ. මාළු අස්වැන්න අඩුවීමට හේතු හොයලා, රටේ ධීවර කර්මාන්තය රැකගන්න ධීවරයන්ට සහන ලබාදීම නේ. අපි මුහුදට ගිහින් අල්ලගෙන එන්නෙ ඩොලර්. රටට විශාල විදේශ විනිමයක් ලබාදෙන කර්මාන්තයක්. ඒත් ධීවර කර්මාන්තය ගැන රටේ බලධාරීන්ට වගේ වගක් නෑ. ධීවර කර්මාන්තය වැටී තිබෙන තැන ගැටලු පැහැදිලි කරලා, මේ විදිහට කළොත් කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන් කියලා තේරෙන භාෂාවෙන් ලියලා ලිපි අටක් විතර වරින්, වර ධීවර ඇමැතිවරයාට භාර දුන්නා. ඒ කිසිදු ලිපියකට අදටවත් පිළිතුරක් නෑ. ධීවර ඇමැති නිවාඩු පාඩුවේ ගිහින් දොඩමලු වෙන්න නම් හොඳයි. ඒත් අපේ ගැටලුවලට පිළිතුරු සොයන බවක් නම් පේන්න නෑ…”

“ඒ වගේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල ලංකාවේ මුහුදෙන් හොඳ මාළු අස්වැන්නක් ලැබෙන නිසා පිටරටින් මාළු ආනයනය කරන්න එපා කියලා කල් තියා අපි කිව්වා. කනකට ගන්නෙ නැතිව චීනෙන් මාළු ආනයනය කළා. පිටරටින් මාළු ගේනවා වෙනුවට ධීවරයන්ගේ මාළු අතිරික්තය අරගෙන ගබඩා කරගන්න වැඩපිළිවෙළක් සකස් කළා නම් කොච්චර හොඳ ද? මේ වෙනකොට අපනයනය කරන ටූනා මාළු මිලත් අඩුයි. කිලෝව රුපියල් 1500 යි. රුසියන්, යුක්රේන් යුද්ධය, පලස්තීන යුද ගැටුම්, ලෝකයටම බලපා තියෙන ආර්ථික අර්බුදය නිසා ලෝක වෙළෙඳපොළේ මාළු මිල අඩු වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය අවුරුදුවල අසාමාන්‍ය විදිහට ලෝක වෙළෙඳපොළේ ටූනා මාළු මිල ඉහළ ගියා. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල හෝටල්, රෙස්ටුරන්ට් ටූනා මාළු මිලදීගැනීම නතර කරලා තිබුණා. ලෝක වෙළෙඳපොළේ ටූනා මාළු මිල වැඩි වුණාට ඒ වාසිය ධීවරයන්ට ලැබුණෙත් නෑ. ඒ වාසියත් මාළු පිටරට යවන කොම්පැණි ගෙඩිය පිටින් ගත්තා. මේ කාලේ මාළු මිල අඩුයි කියලා ධීවරයන්ට වාසියක් වෙලත් නෑ. ඒ ලාභය ලබන්නෙත් අතරමැදි වෙළෙන්දො. අස්වැන්න අඩු වුණත්, වැඩි වුණත් ධීවරයට සෙතක් නෑ. ඒත් රජය විසින් අරුම, පුදුම ධීවර පනතක් නම් හඳුන්වා දෙන්න ලහි, ලහියේ සූදානම් වෙනවා. ඒ පනතේ වැඩි බරක් පටවලා තියෙන්නෙ යාත්‍රා හිමිකරුවන්ට. යාත්‍රා පදවන්නෙක් මුහුදෙ කරන වරදකට ගොඩබිමේ ඉන්න යාත්‍රා හිමිකරුවනුත් දඩ ගෙවන්න ඕනෑ. ඊට අමතරව යාත්‍රාවටත් දඬුවම් කරලා මාස තුනකට, හයකට මුහුදු යෑම තහනම් කරනවා. වරදෙ බරපතළකම අනුව යාත්‍රා රාජසන්තක කිරීමට වුණත් නීති සංශෝධනය කරලා. ජාත්‍යන්තරයට ඕන විදිහට තමයි මේ පනත හඳුන්වා දෙන්න යන්නෙ. අපිට තේරෙන විදිහට මේ පනතේ අරමුණ රටේ ධීවර කර්මාන්තය නැතිභංගස්ථාන කරලා නැවත පිටරට ධීවර නැව් ගෙනත් ලංකාවේ ධජය යටතේ කර්මාන්තය කරගෙන යෑමටයි…” ටිරෝන් ප්‍රනාන්දු දිගු සුසුමක් පිට කර නැංගුරාම් ලා තිබෙන බෝට්ටු දෙසට දෙනෙත් පා කර හැරියේය. මීගමුව වරාය අතුරු, සිදුරු නොමැතිව බහුදින ධීවර යාත්‍රාවලින් පිරී තිබෙන අයුරු පෙනේ. ඒ මුහුදට පිටත්වීමට සූදානම් කරන යාත්‍රා හෝ දියඹට ගිහින් ඊයේ, පෙරේදා පැමිණි බෝට්ටු නොවේ. මාස ගාණක සිට නැංගුරාම් ලා තිබෙන බෝට්ටුය. ඒ බෝට්ටු දෙස බලා සිටින විට ධීවර කර්මාන්තයෙන් යැපෙන ලක්‍ෂ විස්සකට ආසන්න ධීවර ප්‍රජාව ගැන අපට බියක් දැනිණි.

මෙරට පුරා බහුදින ධීවර යාත්‍රා පනස්දහස් ගාණෙන් මේ වෙනකොට කර්මාන්තයේ යෙදෙන්නෙ හාරදාහසකටත් අඩු යාත්‍රා සංඛ්‍යාවකි. විදේශීය මත්ස්‍ය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ටූනා මාළු ඇල්ලීමට ජාත්‍යන්තර මුහුදට ගමන් කරන බහුදින ධීවර යාත්‍රා එක්දාහස් ගාණෙන් මේ වෙනකොට කර්මාන්තයේ නිරතව ඇත්තේ පන්සීයකටත් අඩු සංඛ්‍යාවකි. එමෙන්ම මෙරට මාළු විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන මහා පරිමාණ කොම්පැණි පහළොවක්, විස්සක් තිබිණි. සුළු වශයෙන් මාළු අපනයනය කරන ආයතන එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් තිබිණි. එම සියලුම ආයතනවලින් දැනට ඉතිරි වී ඇත්තේ මාළු පිටරට යවන ප්‍රධාන පෙළේ ආයතන පහ, හයක් පමණි. මාළු අපනයනය කිරීමේ වෙළෙඳාම ඒකාධිකාරියක් කරගත් එම ආයතන හිතුමතේ මාළු මිල අඩු කරති. රුපියල් ලක්‍ෂ 60, 70 වියදම් කර බෝට්ටුවක් මුහුදු ගිහින් නෙළාගෙන එන මාළු අස්වැන්න සොච්චමට දුන් විට වියදම පියවීමට තවත් ලක්‍ෂ ගාණක් පොලියට ගැනීමට සිදු වී ඇති බව බහුදින ධීවර යාත්‍රා හිමිකරුන් අප සමඟ පැවසූහ. එමෙන්ම බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් විශාල පිරිසක් යාත්‍රා විකුණා ඉතාලිය ඇතුළු විදේශීය රටවල රැකියාවලට ගොස් සිටින බව ද වාර්තා වේ. සෑම ධීවර වරායකම ධීවර බෝට්ටු 150 ක් 200 ක් විකිණීමට තබා තිබෙන බව ද වාර්තා වේ. මේ වෙනකොට මිලක් නැති තරමට ධීවර යාත්‍රා කුණු කොල්ලයට වැටී ඇති බව ද යාත්‍රා හිමිකරුවන් අප සමඟ පැවසූහ. එමෙන්ම වතුපිටි, ගෙවල් දොරවල් බැංකුවලට උකස් කර යාත්‍රා මුහුදට පිටත් කර ලක්‍ෂ විසිපහ, තිහ පාඩු ලැබූ ධීවරයන් බහුතරයකගේ දේපළ බැංකුවලට සින්න වී ගැටලු දැලක පැටලී සිටින බව ද ඔවුහු අප සමඟ පැවසූහ.

පෙළගැසෙන කතාව අවසානයේ අපට තේරුම් ගිය යථාර්ථය නම්, මෙරට ධීවර කර්මාන්තය නොපෙනෙන අගාධයකට තල්ලු වෙමින් තිබෙන බවය. කොමිස්වලට කෙළ හළන ධීවර බලධාරීන් සහ නිලධාරීන් එම තල්ලුවීම වේගවත් කරමින් සිටින බවය. එහෙත් මෙරට සියලුම දේශීය කර්මාන්ත කඩා වැටී ඇති පසුබිමක ධීවර කර්මාන්තයට සිදුව ඇති නස්පැත්තිය සම්බන්ධයෙන් අමුතු දුකක් ඇති කරගැනීමට ද අවැසි නැත. මුළු රටම පහළට ගසාගෙන යනවිට ධීවර කර්මාන්තය පමණක් උඩුගං බලා ඇදී නොයන නිසාය.

ආනයනය කරන මාළු ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් විමසා බැලීමට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු. ඔහු අපට ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

“මම මීටින් එකක ඉන්නෙ. එක පාරටම උත්තර දෙන්න බැහැ. පස්සෙ වෙලාවක කතා කරන්න”

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment