රෝගීන්ට අනවශ්‍ය ලෙස වේදනා නාශක හා ප්‍රතිජීවක ඖෂධ දීලා

211

වෛද්‍යවරුන් රෝගීන්ට අනවශ්‍ය ලෙස වේදනානාශක ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසා එවැනි ඖෂධ ආනයනය කිරීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා පවසයි.

එබැවින් ඉදිරියේදී වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර අනවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ රෝගීන්ට ලබාදීම පාලනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

රජයේ රෝහල්හි ඖෂධ හිඟයක් ගැන පවසන්නේ වෛද්‍යවරු නොව සෞඛ්‍ය අංශයේ විවිධ පුද්ගලයන් බවත්, එය ඔවුන්ගේ දේශපාලන සහ වෘත්තීය සමිති මතය අනුව ප්‍රකාශ කරන බවත් ඉන් රට තුළ අනවශ්‍ය ගැටලුවක් ඇති වන බවත් හෙතෙම පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය දිගුකාලීන සහ කෙටිකාලීන ක්‍රමයට ඖෂධ ආනයනය කරන බවත් මේ වන විට රටට අවශ්‍ය ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිපදවන බවත් ඔහු ප්‍රකාශ කරයි. ඖෂධ සම්බන්ධව නිසි අවබෝධයක් නොමැති පුද්ගලයින් කරන විවිධ ප්‍රකාශ නිසා ජනතාව තුළ වැරදි මත සමාජගතවීම අහිතකර බවත් එලෙස මෑතකදී සමාජගත වූ වැරදි පුවතක් වූයේ හෘද සැත්කම් සඳහා භාවිත කරන ඖෂධයක් ලිංගික උත්තේජන ඖෂධයක් ලෙස පැවසීම බවත් වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා පවසයි. මෙම ඖෂධ හෘද සැත්කම් සඳහා අත්‍යවශ්‍ය බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම ඖෂධය ආනයනය කළ බවත් එම ඖෂධයේ අතුරුඵලයක් ලෙස ලිංගික උත්තේජනය ඇති කරන බවත් හෙතෙම සඳහන් කරයි. නමුත් ඇතැම් පුද්ගලයන් එය සමාජ ගත කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලිංගික උත්තේජන ඖෂධ ගෙන්වන බව ලෙස යැයිද හෙතෙම කීවේය. ඒ මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනිය සමග ඉකුත් 25 වැනිදා පැවැති 7 වෙනි පැයේ වැඩසටහනට එක්වෙමිනි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment