මෙරට බැමි ලිහා ගත් පාපැදි සම්මේලනය ජාත්‍යන්තරයට ඇස් යොමයි

96

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලතල සඳහා තේරී පත්වී වසර 3 ක කාලයකින් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දිනා ගැනීමට සමත් වූ වත්මන් පාපැදි සම්මේලන නිලධාරීහු පාපැදි ක්‍රීඩාව සදහා වන ලෝක පාලන ආයතනය Union Cyclist Internationale (යූසීඅයි ) අනුමැතිය තමන් වෙත දිනා ගැනීමේ සටන දැන් අරඹා සිටිති.

ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළත යූසීඅයි අනුමැතියද තමන් වෙත හිමිවනු ඇති බව විශ්වාස කරන වත්මන් පාපැදි විධායක මණ්ඩලය ඒ සමගම මේ වසර සඳහා පාපැදි තරග 25 ක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

ගුවන් හමුදා පාපැදි සවාරිය, මීගොඩ පාපැදි සවාරිය ඒ අතර ප්‍රමුඛ බවත් එමෙන්ම එක් දින පාපැදි තරග 25 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමටත් ඒ අතර කටයුතු යොදා තිබේ.

රුපියල් මිලියන 15 කට ආසන්න මුදලක් ඒ සඳහා වෙන්කර ඇති බව ද ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිගේ මහතා “දිවයින”ට ඊයේ (01 වැනිදා) පැවසීය.

2021 වසරේ අප්‍රේල් මාසයේදී පාපැදි සම්මේලනයේ නිලතල සඳහා ඔවුන් තේරී පත් වූවද ජාතික ඔලිම්පික් කමිටුව ඔවුන්ගේ පත්වීම් සහ එම නිලධාරී මණ්ඩලය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඡන්දයෙන් පත්වුණු එම නිලධාරී මණ්ඩලය වෙනුවට එන්. කරුණාරත්න ඇතුළු එවකට හිටපු පාපැදි පරිපාලනය සිය සාමාජිකයා ලෙස පිළිගෙන ඔලිම්පික් කමිටුව කටයුතු කළ අතර ‘යූසීඅයි’ද ඒ මග යමින් හිටපු පරිපාලනය පිළිගෙන කටයුතු කළේය.

‘යූසීඅයි’ද ශ්‍රී ලංකා සාමාජිකත්වය ලෙස හිටපු පාපැදි පරිපාලනය පිළිගෙන කටයුතු කළ බවත් එහිදී ජාත්‍යන්තර වශයෙන් තමන්ට ඇති වූ නොපිළිගැනීම දුරුකර ගැනීමේ කටයුතු දැන් තමන් අරඹා ඇති බවද නලින් අධිකාරිගේ මහතා පැවසීය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment