වයස 18ට වැඩි නම් බදු අංකය නොගත්තොත් පනස්දහසක් දඩ

1455

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අංකය (ටිප් අංකය) නොගන්නා තැනැත්තන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරන බවත්, එහිදී ඔවුන්ට රු. 50,000 නොඉක්මවන දඩයකට යටත් වීමට සිදුවනු ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2024 ජනවාරි 01 වැනිදා (ඊයේ) සිට ක්‍රියාත්මක වන පරිදි එදිනට හෝ එදිනට පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයන් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගත යුතු වේ.

එය අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු රු. ලක්‍ෂ 12 කට වැඩි ආදායමක් ලබන්නේ නම් ඔවුන් ආදායම් බද්ද සඳහා ද ලියාපදිංචි විය යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ගගතව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ මෙම ලියාපදිංචිය ලබා ගත හැකිය. ‘ඊ’ සේවාව හරහා ලියාපදිංචි වීමේදී තම ජාතික හැඳුනුම්පතේ දෙපැත්තම ස්කෑන් කළ පීඩීඑෆ් පිටපතක් උඩුගත කළ යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

මේ අතර ඊයේ සිට වාහන ලියාපදිංචි කිරීමේදී ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී සහ දේපළ මිලදී ගැනීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට ගෙන තිබූ තීරණය මසකින් කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment