වසර 18කට පෙර කළ මිනීමැරුමකට හුංගම OIC ඇතුළු පොලිසියේ 4කට මරණ දඬුවම

349

වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (15) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ හුංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන අම්බලන්තොට රිදියගම පදිංචි 58 හැවිරිදි පොලිස් පරීක්ෂක අරංවල ගමගේ උපුල්, තිස්සමහාරාම පදිංචි දැනට විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයකු වන 63 හැවිරිදි ජයන්ති වාසගේ සුසිල් ජයබන්ධු, හම්බන්තොට වරාය පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව දැනට රාජකාරි සිදුකරන පොලිස් කොස්තාපල්වරයකු වන දම්මුල්ල බෙලිඅත්ත පදිංචි 51 හැවිරිදි සරඹගේ සිරිල් හා එවකට තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස කටයුතු කර දැනට සේවයෙන් පහ කර සිටින මහදිවුල්වැව, අඹන්පොල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි පතිරාජ මුදියන්සේලාගේ රංජිත් සුසන්ත නමැති චූදිතයින් සිව්දෙනාටය.

චූදිතයින් 2005 ජුනි 29 වැනිදා තිස්සමහාරාම දෙබරවැව මාතරවත්ත ප්‍රදේශයේදී සොරකම් තුනක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබේ. එහිදී රාත්‍රි 12ට පමණ දෙබරවැව මාතරවත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන පසුව සැකකරුට දිව යන ලෙස පවසා වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. මෙම පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ දෙබරවැව මාතරවත්ත පදිංචි ලොකු හැන්නදිගේ අමිල මහේෂ් නමැති අයයි. වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් විසින් සැකකරු නිවසින් එළියට ගෙන දිව යන ලෙස පවසා වෙඩි තබා ගොස් ඇති අතර පසුදින උදෑසන සැකකරු ඒ ආසන්නයේ නිවසක් අසල වෙඩි වැදී මියගොස් සිටියදී තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එවකට තංගල්ල කොට්ඨාස භාරව කටයුතු කළ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු සිදුකෙරුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වැටලීම සිදුකළ පොලිස් නිලධාරීහු සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව චූදිතයින් සිව් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ 2006.06.29 වන දින මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනා යටතේ අධිචෝදනා ගොනු කරන ලදි.

ඒ අනුව පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල විසින් චූදිතයින් සිව්දෙනාට එරෙහිව නගා තිබූ අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චූදිතයින් සිව් දෙනාටම හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මරණීය දණ්ඩනය නියම කළේය.

මරණීය දණ්ඩනය නියම කෙරුණු චූදිතයින් සිව්දෙනාට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනකදී ස්ථානයදී මරණීය දණ්ඩනය නියම කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. මෙය ලංකා ඉතිහාසයේ පොලිස් නිලධාරීන් සිව්දෙනකුට එකවර මරණීය දණ්ඩනය පැනවූ පළමු නඩු තීන්දුව වීමයි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධීනීතිඥ නිමංක ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙය වීය.
මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment