වැලිමඩ රෝහල රෝගීන් සොයා යයි

1381

රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට නොහැකි රෝගීන් සඳහා නිවෙස් වෙතම ගොස් ප්‍රතිකාර කිරීමේ සේවාවක් වැලිමඩ මූලික රෝහල මගින් මේ වන විට ආරම්භ කර ඇති බව වැලිමඩ මූලික රෝහලේ වැඩ බලන රෝහල් අධිකාරි වෛද්‍ය කසුන් බණ්ඩාර මහතා පැවසීය.

මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියක් හරහා ක්‍රියාත්මක කරන මෙම සේවාව ගැන ජනතාව එතරම් දැනුවත් නොමැති නිසා මෙම සේවාව ලබා ගැනීමට රෝගීන් එතරම්ම යොමු නොවන බවත් වෛද්‍ය කසුන් බණ්ඩාර මහතා පැවසීය.

වැලිමඩ මූලික රෝහලේ වැඩබලන රෝහල් අධිකාරි වෛද්‍ය කසුන් බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

මේ සේවාව ගැන ජනතාව එතරම්ම දන්නේ නැහැ. මේ සේවාව ලබා දීමේදී රෝගීන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. අපේ රෝහලේ ඉන්න මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියක් මගින් තමයි අපි මේ සේවාව ලබා දෙන්නේ. ඇය ඉතා උනන්දුවෙන් මේ සේවාව රෝගීන් වෙත සපයනවා. ඇයට ප්‍රවාහන පහසුකම් දෙන්න අපිට හැකියාවක් නැහැ. රෝගීන්ටත් එවන් හැකියාක් නැහැ. නමුත් ඇය පොදු මගී ප්‍රවාහන සේවාව භාවිතා කරමින් ඉතා දුෂ්කර ගමනාන්ත කරා ගොස් මෙම සේවාව සපයනවා. මේ සේවාව හරහා රෝගීන්ට මෙන්ම රෝගී පවුල්වල අයටත් අපි විවිධ සේවාවන් සපයනවා. වෛද්‍ය ප්‍රතාකර සඳහා රෝහල්වලට රැගෙන එන්න අපහසු රෝගීන් ඉන්නවා. ඉතිං මේ සේවාව මගින් ඒ අයට වෛද්‍ය ප්‍රතිකාර අපි නිවෙස් වලටම ගොස් සපයනවා. මේ සේවාව ලබා ගන්න කරන්න ඕනි මුලින්ම වෛද්‍යවරයෙක් හරහා අපේ රෝහලේ මෙම සේවාව ලබා ගන්න ලියාපදිංචි වෙන්න ඕනි. ඊට පස්සේ ඒ යට අපි මේ සේවාව සපයනවා. මේ සේවාව සපයන්න අපේ රෝහලේ ඉන්න මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනි මධුකි ජයසේකර මහත්මිය එම කටයුතු ඉතා හොඳින් උනන්දුවෙන් කරනවා. ඇගේ සේවය අගය කළ යුතුයි. වෛද්‍ය උපකරණ ඇතුළු රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඕනි සියලු දේ ඇය අරන් යන්නේ අපහසුතා මධ්‍යයේ.

වැලිමඩ රෝහල රෝගීන් සොයා යයි

වැලිමඩ මූලික රෝහලේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනි මධුකි ජයසේකර මහත්මිය මෙම සේවාව සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

මේ සේවාව ආරම්භ කළේ 2018 වර්ෂයේ. විශේෂයෙන්ම අපි මේ සේවාව සපයන්නේ නිවෙස්වල ඉන්න වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ඔත්පල වෙච්ච

රෝගීන්, නැගිටගන්න බැරි රෝගීන් ආදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලක් වෙත පැමිණෙන්න බැරි රෝගීන්ටයි. විශේෂයෙන්ම අපි මේ සේවාව සැපයීමේදී තුවාලවලට සැරවුම් දැමීම, මූත්‍රා බට මාරු කිරීම,

රැධිරගත සීනි ප්‍රමාණය බැලීම, රුධිරගත ක්ලොස්ට්‍රරෝල් ප්‍රමාණය බැලීම ආදී බොහෝ සේවාවන් සපයනවා. ඒ වගේම අපි මේ නිවෙස්වලට ගියාම රෝගීන්ගේ මෙන්ම එම පවුල්වල අයගේ මානසික ශක්තිය වර්ධනය කරන්න උපදේශන සේවාවද සපයනවා. රෝගීන්ව කොහොමද බලා ගන්න ඕනි ඒ වගේම රෝගීන්ට කොහොමද පෝෂණය දෙන්න ඕනි ආදියත් අපි දැනුවත් කරනවා. රෝහලකට රෝගියෙක් ආවම අපි පොදුවේ තමයි ප්‍රතිකාර කරන්නේ. නමුත් මෙහිදී අපි රෝගියාගේ නිවෙස් වලටම යන නිසා ඔවුන්ගේ ආර්ථික තත්ත්වයත් ගැන සලකලා බලලා ඔවුන්ට ගැළපෙන ලෙස

රෝගියා බලා ගන්න ඕනි ආකාරයත් කියාදෙනවා. ඒ වගේම බෝ නොවන රෝග පාලනය සම්බන්ධවත් අපි ඒ පවුල්වලට ගියාම දැනුවත් කරනවා. මෙම

රෝගීන් සියලු දෙනා ඉන්නේ මාර්ග ආසන්නයේ නෙමෙයි. සමහර රෝගීන් බලන්න ඉතා දුෂ්කර ගමනාන්ත වලට යන්න වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ, ඖෂධ ආදියත් මම අරන් යන්න ඕනි. එහෙම වෙලාවට දුෂ්කරතා රැසක් මැද තමයි යන්නේ. මොකද මේ සේවාව සපයන්න යනකොට මට රෝහලෙන් ප්‍රවාහන පහසුකම් ලැබෙන්නේ නැහැ. රෝහලට එහෙම මට ප්‍රවාහන පහසුකම් දෙන්න ක්‍රමවේදයක් නැහැ. කොහොම වුණත් මම ඒ දුෂ්කරතා විඳගෙන මෙම සේවාව සපයනවා. මගෙන් සේවාව ලබාගෙන දිනක් හෝ වැඩිපුර ජීවත් වුණා නම් මට ඒ ඇති. මම මේ සේවාව සපයන්නේ ගොඩක් සතුටින්. සමහර

රෝගීන් මම එනකම් බලාගෙන ඉන්නේ. සමහර

රෝගීන්ට මම දැන් එයාලගේ පවුලේ කෙනෙක් වෙලා. සමහර දෙමාපියන් ඒ අයගේ දුවෙක් විදිහටයි මට සලකන්නේ. රැකියා දිවියේ මම ලබන සතුටත් ඒකම තමයි. මෙම සේවාව අනෙක් රෝහල් වලත් තියෙනවා. ඒත් ජනතාව මේ ගැන දැනුවත් නැහැ. ඒ නිසා මෙම සේවාව ලබා ගන්න යොමු වෙනවා අඩුයි.
බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment