ශ්‍රී ලංකා නාමය ලොවේ රන්දා නිරූපණ ශිල්පිනි සඳනි දිවයිනට….

366

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති 29 වැනි ‘ ලෝක නිරූපණ ශිල්පිනී – 2023’ (Top Model Of The World – 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනාගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි පීරිස් මෙනවිය ඊයේ (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියා ය.

මෙම තරගාවලිය ඉකුත් පෙබරවාරි 20 දා සිට මාර්තු 03 දා දක්වා ලොව පුරා රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක බැලේ නර්තන උපදේශිකාවක ලෙස කටයුතු කරන 22 හැවිරිදි සඳනි පීරිස් මෙනවිය මෙම ජයග්‍රහණය රැගෙන ඊයේ උදෑසන 08.30 ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා ය. එහිදී සඳනි පීරිස් මෙනවිය සිය අනාගත බලාපොරොත්තු ප්‍රකාශ කරමින් ඉදිරි මාස 06ක් ඉන්දියාවේ විශාලත ම නිරූපණ ශිල්පී ආයතනයේ ආරාධනාවක් මත එහි සේවය සඳහා යන බවත් ඒ අතරතුර ශ්‍රී ලංකාවේ අවශ්‍යතා මත මෙරටට පැමිණ නිරූපණ කටයුතුවල නිරත වීමට අපේක්ෂා කරන බවත් පැවසුවා ය. ඇය පිළිගැනීමට පවුලේ ඥාතීහු ද, ඇයගේ නිරූපණ ශිල්පී උපදේශක බ්‍රයන් කර්කෝවන්, ඇය සේවය කරන නිරූපණ ශිල්පී ආයතනයේ නිලධාරීන් පිරිසක් ද, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment