අවිධිමත් ලෙස පොහොර ආනයනය තහනම් කිරීමෙන් අස්වැන්න හරි අඩකින් අඩුවී රට බරපතළ ආහාර අර්බුදයකට යාවි

175

අවිචාරවත් පොහොර ආනයන තහනම නිසා ජනාධිපතිවරයාට ‘එකක් කඩතොළු මකා ගන්නට ගොස් දෙකක් කඩතොළු හදාගත්‘ ඉඳුරුවේ ආචාරියාට වූ දේ සිදුවීම වැළැක්විය නොහැකි යැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පැවසීය.
 
 ඊයේ (10 දා* මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක‍්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක‍්‍රියාදාමයක් බව ප‍්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප‍්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය පිටුපස විශාල ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට සැකයක් මතුව ඇති බවයි.
 
 රජය සිදුකළ යුතුව තිබුණේ රසායනික පොහොර වල ප‍්‍රමිතිය වැඩිදියුණු කරමින් එහි අක‍්‍රමවත් භාවිතාවන් නිසා වන හානිය පාලනය කිරීම සඳහා නියාමන වැඩසටහනක් ක‍්‍රියාවට නංවමින් පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය භාවිතයට ගොවියන් පුහුණු කරමින් ක‍්‍රමිකව කාබනික පොහොර සඳහා යොමුවිය හැකි කෘෂි ක්ෂේත‍්‍ර ඒ සඳහා යොමු කරවීම බවයි. එහෙත් ඊට හාත්පසින් වෙනස් විනාශකාරී තීන්දුවකට ජනාධිපතිවරයා එළැඹ තිබීම අතිශය කනගාටුවට කරුණක් බවද ඒ මහතා ප‍්‍රකාශ කරන ලදී.
 
 මේ නිසා තේ වගාව වැනි වසර 150ක් පමණ පැරණි අපනයන ක්ෂේත‍්‍රයක් සම්පූර්ණයෙන් විනාශ වී යෑමේ අවදානමක් ඇති බව පෙන්වා දෙන ලද ඒ මහතා තේ හෙක්ටයාරයක් සඳහා වර්තමාන වියදම වන ආසන්න වශයෙන් රුපියල් 31000 ක මිල මේ හේතුවෙන් රුපියල් 400,000 කට පමණ වැඩිවන බවත්, නිෂ්පාදන වියදම අසීමාන්තික ලෙස ඉහළ ගොස් තේවල අපනයන ආදායම බිඳ වැටීම තුළින් සිලෝන් ටී සන්නාමය විනාශ වී යා හැකි බවත් ප‍්‍රකාශ කරන ලදී.
 
 රජය මෙම අවිචාරවත් පොහොර තහනම ගෙන ඒමට සමගාමීව දැනටමත් කාබනික පොහොර නැව් ගෙන්වීමට ඇතැම් පිරිස් සහ සමාගම් කටයුතු කරමින් තිබීම තුළින් මේ පිටුපස විශාල ජාවාරමක් පැවතිය හැකි බවට සැකයක් මතුවන බවත්, මෙකී ප‍්‍රායෝගික නොවන තීන්දු නිසා එළැඹෙන කන්නයේ වී, එළවළු ඇතුළු අනෙකුත් බෝගවල අස්වැන්න හරි අඩකින් අඩුවීමෙන් ශ‍්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාව පිළිබඳව බරපතළ අර්බුදයකට ලක්විය හැකි බවත් පෙන්වා දෙන චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වසංගත තත්ත්වයක් මැද රට ඒ සා විශාල අර්බුදයකට ලක් නොකළ යුතු බවත් පෙන්වා දෙන ලදී.

  අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment