පොලිසියේ කරුණාව මැද සීතාවක මැණික් ගැරීම් ජයටම!

222

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ සීතාවක කැලණි ගඟේ මහා පරිමාණයෙන් සිදුවන මැණික් ගැරීමේ ජාවාරමක තොරතුරු හෙළිවී තිබේ. විශාල පරිසර හානියක් සිදුකරමින් කරගෙන යන මෙම මැණික් ගැරීමට අවිස්සාවේල්ල පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙන බවද ප්‍රදේශවාසීහු ‘දිවයින’ට පැවසූහ.

පුද්ගලයන් 40 ක් පමණ පිරිසක් මෙම ජාවාරම සඳහා බැකෝ සහ ට්‍රැක්ටර් යොදාගෙන තිබෙන බව ද එම ජනතාව පවසති. ඉකුත් සිකුරාදා (21 දා) සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසින් එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදී මෙම ජාවාරම අනාවරණය වීමත් සමග තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එම ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී එම පිරිස පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහා පරිමාණ ජාවාරම්කරුවන් පළාගොස් ඇති බව පොලිසිය සැක කරයි.

මේ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් එම අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පොලිස්පතිවරයාගේද උපදෙස් සහ සහාය ලබාගෙන වැටලීම් සිදුකිරීමට පියවර ගෙන තිබෙන බවය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment