ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණය කල් යයි

49

අද (30 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණය කල් දැමීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29 වැනිදා) තීරණය කරන ලදි.

මෙවර දැල්පන්දු නිලවරණයේදී ඡන්දය ලබා දීම සඳහා සූදානමින් සිටි යාපනය සහ කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගම් දෙකෙහි ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් විමසා බැලීමට අවස්ථාවක් නොලැබී යෑම මත මෙම තීරණය ගෙන ඇත.

අදාළ දිස්ත්‍රික් සංගම් දෙකෙහි ඡන්ද බලය සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් හේතුවෙන් ඒවායේ ඡන්ද බලය අහිමි කිරීමට දැල්පන්දු නිලවරණ කමිටුව මීට පෙර කටයුතු කර තිබිණි.

ඉන් අනතුරුව අදාළ පාර්ශ්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ‘ඔම්බුඩ්ස්මන්වරයා’ (දුක්ගන්නාරාළ) වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ පිළිබඳව සලකා බැලීමට තිබූ අවශ්‍යතාව මත ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණය පවත්වනවාද කල් දමනවාද යන්න ඊයේ (29 දා) තීරණය කිරීමට නියමිතව තිබුණි.

මෙවර ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපති තනතුරට හිටපු සභාපතිනියක් හා හිටපු ක්‍රීඩිකාවක් වූ තමාරා ධර්මකීර්ති හේරත් හා වත්මන් සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය අතර ප්‍රධාන සටන පවතී.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment