හලාවත මෝය කටේ දිය නෑ පියා දියණිය සහ ඥාති පුතා මුහුදු රකුසාට බිලිවෙති

312

දැදුරු ඔයේ විනෝද චාරිකාව කඳුළින් කෙළවර වෙයි

දැදුරුඔය මුහුදට ගලා බස්නා හලාවත මෝයේ දිය නාමින් සිටි එකම පවුලේ පියා, දියණිය හා ඥාති පුතෙකු මුහුදු රළට ගසාගෙන ගොස් මියගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුව ගල්කටුව දලු‍පොත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි ඩබ්ලියු. එස්. ප්‍රියදර්ශන ප්‍රනාන්දු (පියා) හය හැවිරිදි ඩබ්ලියු. එස්. ප්‍රියදර්ශනී නිහන්සා (දියණිය) හා ඥාති පුතෙකු වන හත් හැවිරිදි එස්. ඩී. සිතිජ සස්මින් නමැති අයයි.

මෙම පිරිස මීගමුවේ සිට හලාවත එගොඩවැල්ල ප්‍රදේශයට පැමිණ පසුව ඥාතියෙකුගේ ධීවර යාත්‍රාවකින් මියගිය තිදෙනා ඇතුළු හය දෙනෙකු දැදුරු ඔයේ සංචාරයක නිරතව පසුව හලාවත මෝයකට ආසන්නයෙදී දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මෝයේ මියගිය තිදෙනා සමග සිටි හය දෙනාම දිය නාමින් සිට ඇති බවත් එකවර ආ සැඩ පහරකින් මරණයට පත් තිදෙනා හා තවත් 36 හැවිරිදි අයකු හා අවුරුදු දෙකක් වයසැති දරුවකු ද ගසාගෙන ගොස් ඇත.

අනතුරුව අසල සිටි පිරිසක් වයස අවුරුදු දෙකක් වු දරුවෙකු හා 36 හැවිරිදි තැනැත්තෙකු බේරා ගෙන තිබේ. බේරා ගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා කඩිනමින් හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. පියා, දියණිය හා ඥාති පුතු දිය රළට ගසාගෙන යාමෙන් පැය දෙකකට පමණ පසු ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට හැකිවු බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ උපදෙස් මත හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.එස්. පද්මකුමාර මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදු කරති.
අමරනන්ද විජේසේකර– මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment