ඇමරිකාවත් හොල්ලපු මන්ත්‍රීගේ පොත

1268

පසුගිය සතිය දේශපාලන හා දේශපාලනමය නොවූ ප්‍රශ්න ගණනාවක් අපේ රටට බලපෑ සතියක් විය. දේශපාලනමය වශයෙන් ආණ්ඩුව යම් ස්ථාවරත්වයකට පැමිණෙමින් තිබූ සතියක් ද විය. විපක්ෂයේ අන් කවර නායකයෙකුටත් වඩා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික වශයෙන් සාර්ථකව ඉස්මතු වූ සතියක් ද විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීමෙන් ද රුපියල තරමක් ස්ථාවර වීමෙන්ද, සංචාරක ව්‍යාපාරයෙන් හා විදෙස්ගත ප්‍රේෂණවලින් යම් සැලකිය යුතු වාසියක් ලැබීමෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පෙර තිබුණාට වඩා ස්ථාවර අඩියකට පැමිණ සිටියේය. මේ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය අනෙකුත් ලොකු කුඩා දෙමළ මුස්ලිම් පක්ෂ දේශපාලනමය වශයෙන් යම් අභියෝගයකට ලක් විය. ඊට හේතුව මේ පක්ෂවල යම් යම් පිරිස් ඒ වනවිටත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට සාකච්ඡා අරඹා කැමැත්ත ප්‍රකාශ කර තිබීමයි. පසුගිය දිනවල ජාතික ආණ්ඩු කතිකාව දේශපාලන කරළියට පැමිණියේ මොවුන්ගේ මේ සාකච්ඡා කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.

මේ තත්ත්වය නිසා පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැත්ම සම්බන්ධයෙන් ලොකු ගැටලු ගණනාවක් මතුවී වෙන වෙනම කණ්ඩායම් නිර්මාණය විය. එම තත්ත්වයම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට ද තදින් බලපෑ බව රහසක් නොවේ. හේතුව මේ කණ්ඩායම් දෙකෙන්ම සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට එක්වීමට මේ සතිය වන විට ස්ථිරවම කැමැත්ත පළකර තිබීමය.

ඔය ගැටලුව ඔය ආකාරයෙන් සාකච්ඡාවට ලක් වෙමින් තිබියදී අයි එම් එෆ් ණය ලබා ගැනීමේදී රජය විසින් අනුගමනය කළ යුතු හා සපුරාලිය යුතු කොන්දේසි මෙන්ම වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ මේ ප්‍රශ්න එකිනෙක මහත් ඉවසීමෙන් යුතුව විසඳා ගනිමිනි.

පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවති සතියක් වූ බැවින් ජනාධිපතිවරයාට හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේ ප්‍රශ්න විවෘතව පාර්ලිමේන්තුවේ දී කතා කරන්නට ඉඩ අවකාශ ලැබී තිබිණි.

● නැවේ වන්දිය ගැන
ඇමැති හෙළිදරව්ව

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට හා සාගර පද්ධතියට සිදුවූ හානිය හේතුකොටගෙන ශ්‍රී ලංකාවට ලැබිය යුතු වන්දි මුදල වැළකී ගිය හැටි ගැන කතාබහක් පසුගිය දිනවල ඉස්මතු විය. ඇමැති විජයදාස රාජපක්ෂ ද මේ කතාබහට හවුල් වූයේ තමන්ට ලැබුණු ඔත්තුවක් ගැන සඳහන් කරමිනි. එම වන්දි මුදල ලංකාවට අහිමි වූයේ යම් යම් වගකිවයුතු පුද්ගලයින් ඩොලර් මිලියන ප්‍රමාණවලින් අල්ලස් ලබාගෙන නිසි පරිදි රාජකාරි කටයුතු නොකළ නිසා යැයි ඇමැතිවරයා චෝදනා කළේය. ඔහු මේ අල්ලස ලබා ගැනීම ගැන යම් හෝඩුවාවක් කීවත් ඒ කවරෙකුද කියා හෙළිදරව් කළේ නැත. නම හා අදාළ බැංකු ගිණුම් අංක ළඟ තබාගෙන හෙළිදරව් නොකළේ යැයි ඇමැතිවරයාට බරපතළ චෝදනාවක් ද මතු වූයේ මෙම පසුබිම තුළයි. විමල් වීරවංශ එක්තරා තැනකදී විවෘත අභියෝගයක් කළේ හැකිනම් පාර්ලිමේන්තුවේ දී හෝ ඉන් පිටතදී මේ පිළිබඳ හෙළිදරව්ව සිදුකරන ලෙසයි.

ඒ අනුව යමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය සතියේ මේ පිළිබඳ නිල හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේදී කරනු ලැබීය. චාමර ගුණසේකර නමැති පුද්ගලයකුගේ නම ඔහු පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේ එංගලන්තයේ ඔහුගේ ලිපිනය හා බැංකු ගිණුම පිළිබඳ තොරතුරු ද සහිතවය.

කෙසේ වෙතත් මෙම සංවාදය පාර්ලිමේන්තුවේ බොහෝ වේලාවක් දිගහැරුණු සංවාදයක් විය. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් මේ සංවාදයට සහභාගී වූහ.

“සමහර අය කප්පම් අරන් නැවට ලංකාවේ මුහුදු සීමාවෙන් එළියට යන්න උදව් කළා. අද අපිට නඩු දාලා සිතාසි ටික බෙදාගන්න විත්තිකාරයෝ හොයාගන්න බෑ. නැවෙන් වෙච්ච අලාභයත් නෑ වන්දියත් නෑ. සමහරු නැවෙන් හානියක් වුණේ නෑ කියලා නැව බේරගන්න කතා කළා.” විජේදාස රාජපක්ෂ මෙසේ බරපතළ චෝදනා නගමින් පෙන්වූ කරුණුවලින් එක් ඇඟිල්ලක් යොමු වූයේ හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා වෙතය. ඔහු ද ඒවාට උත්තර දෙමින් සංවාදයට එක්විය. කෙසේ වෙතත් මේ සංවාදය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ දෙනා සත්‍යය වෙනුවෙන් සහභාගි වූ සංවාදයක් විය.

● රිළව් ඇති කරන්න මන්ත්‍රී ඉදිරිපත් වේ

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකට හමුවී සුබපතා ගනිමින් කතාබහ කරමින් අලුත් අවුරුදු ප්‍රීතිය බෙදා ගනිමින් සිටියහ. ඒ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් පවත්වන්නට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කතාව නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් සිටියේ තරමක් කලබලකාරීවය. ඩොලර් බිලියන හයකටත් වඩා වැඩි වන්දියක් ගන්න තිබියදී එය වළක්වා ලූ අය කවුදැයි, ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි මන්ත්‍රීවරු කෑකෝ ගැසීය.

“මිලියන 250 ක කප්පමක් ගත්තෙ කවුද කියලා අධිකරණ ඇමැතිතුමා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෙනකොට ඒ කරුණු සියල්ල අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා පරීක්ෂණයක් කරන්න.” අනුරාධ ජයරත්න කිව්වේය.

“ඔය නඩුව ලංකාවෙ ඇහුව නම් අපට විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඇයි ඕක සිංගප්පූරුවේ අහන්න අරගෙන යන්න ඉඩ දුන්නේ…” ජනාධිපතිවරයා ඒ ගැන කරුණු පැහැදිලි කිරීම භාර කළේ විදේශ අමාත්‍ය අලි සබ්රිට ය. ඒ පිළිබඳ සංවාදය තරමක් දිගට ඇදී ගිය අතර ඉන්පසුව එළඹියේ රිළා ප්‍රශ්නයයි.

මහින්ද අමරවීර ඇතුළු කෘෂිකාර්මික ජනතාව වෙසෙන ප්‍රදේශවල ජීවත්වන දේශපාලනඥයෝ ගොවියාගේ පැත්තෙන් බලමින් රිළවුන්ගේ ප්‍රශ්නය ගැන කරුණු දක්වන්නට වූහ. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ ජයන්ත මන්ත්‍රීවරයා රිළවුන් ගැන අපූරු කතාවක් කීවේය.

“රිළවුන්ගෙන් වගාවන්ට හානි වෙනව කියන කතන්දරය මම පිළිගන්නේ නෑ. මමත් ගොවියෙක් හැටියට කටයුතු කරනවා. විවිධ දේවල් වවනවා. ඒ වගේම මම ගෙදර රිළවුන් ඇති කරනවා. රිළව් බෝගවලට හානි කරන්නේ නෑ…”

ඒ කතාවට බොහෝ දෙනෙක් හාස්‍යයෙන් යුතුව උත්තර දෙන්නට පටන් ගත්හ.

“රිළව් ඇති කරනවා නම් මොකටද රට යවන්නේ. අපි මෙයාට ම බාර දෙමු රිළව් ටික. අපේ පැත්තේ ඉන්න රිළව් ටිකක් මෙයාට යවමු.”

“ඒ විතරක් මදි… රිළා ඇමැති කියල නම දමමු…” මේ විහිළුව නවතමින් ජනාධිපති කතා කරමින් කීවේ විකාර කතා නොකර මේ ප්‍රශ්නයට දැන් තිබෙන තැන පැහැදිලි කරන්න කියාය.

මහින්ද අමරවීර ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් කළේය. රට යැවීම ප්‍රමාද වී ඇත්තේ ඒ පිළිබඳ ලියකියවිලි කටයුතුවල ප්‍රශ්නයක් නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර වයඹ පළාතේ හා බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරු ඉවත් කරන්නට ජනාධිපතිවරයාට යෝජනාවක් පැමිණියේය. සමහර ඇමැතිවරු කීවේ ඔවුන් අනුගමනය කරන හමුදා ප්‍රතිපත්ති හා ආරක්ෂාව නිසා මහජනතාවට හා දේශපාලනඥයන්ට ඔවුන් හමුවී ප්‍රදේශයේ වැඩ කටයුතු හා සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා කිරීමට බාධාවන් පවතින බවයි. එය ඉදිරි දේශපාලන කටයුතුවලට මහත් හිරිහැරයක් බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යි. වයඹ වසන්ත කරන්නාගොඩ යි. මේ දෙදෙනාට ලොකු ලොකු විවේචන තිබිණි. එහෙත් ඒ කිසිවකට ජනපති රනිල් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මෙයාකාරයට වැදගත් කරුණු රාශියක් සාකච්ඡාවට ලක් වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද තවත් ටික වෙලාවක් පැවැත්වී අවසන් විය.

● ජනපති මාධ්‍යවේදීන්
කොට්ටපොරයට කැඳවයි

බොහෝ දේශපාලන පක්ෂ පහුගිය සතියේ සාකච්ඡා කරමින් සිටි පොදු කාරණාව මෙවර මැයි දිනයයි. මෙවර මැයි දිනයට රැස්වීම් හා පෙළපාලි පැවැත්වීමට සියලුම දේශපාලන පක්ෂ සූදානම් ව සිටියි. ඒ වෙනුවෙන් විවිධ සාකච්ඡා පක්ෂ අභ්‍යන්තරයේ ඇති විය.

මෙවර මැයි දින රැලිය ගෝල්ෆේස් පිටියේ පවත්වන්නට කල්තියා තීරණය කර තිබිණි. එහෙත් පසුගිය දිනක ගෝල්ෆේස් පිට්ටනිය එවන් කිසිදු ජනතා කටයුත්තකට හෝ රැස්වීමකට ලබා නොදීමට රජය දැඩි පියවරක් ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ එය සැලකුවේ තම පක්ෂයට කරන ලද අරියාදුවක් ලෙසයි.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල්පනා කළේ විදේශිකයන්ගේ හා ලෝකයේ තිබෙන මූල්‍ය මර්මස්ථානවල අවධානය යොමුව ඇති කලාපයක් වන ෂැංග්‍රිලා හෝටලය අවට හරිත කලාපය එවන් කලබලකාරී මහජන නැගිටීම්වලට ලබාදීම බලවත් අපරාධයක් බව ය.

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා ගෝල්ෆේස් පිටියේ ඉහළ කලාපයේ ෂැංග්‍රිලා හරිත කලාපය තුළ විශේෂ අවුරුදු උත්සවයක් තිබිණි. වසත් සිරිය නමින් හඳුන්වා තිබුණු මේ සිංහල අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණේ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කීපයක් එක්වය.

අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු මෙන්ම එම කාර්යාලවල සේවක පිරිස්වලට ද ආරාධනය කර තිබිණි. ඇමරිකාව, චීනය, ඉන්දියාව, තායිලන්තය, පකිස්ථානය, නෙදර්ලන්තය, පලස්තීනය, බංග්ලාදේශය, කියුබාව, මියැන්මාරය, කුවේට් රාජ්‍යය, දකුණු කොරියාව, වියට්නාමය ඇතුළු රටවල් ගණනාවක ලාංකික ආර්ථිකය මෙම උත්සවය බලන්නට පැමිණ සිටීම විශේෂත්වයකි. ඔවුන් සියල්ලෝම සිංහල ජන ක්‍රීඩාවලට විශේෂ උනන්දුවක් දක්වනු ලැබූහ.

ජනාධිපති ක්‍රීඩාවන් ගැන පැහැදිලි කරමින් තානාපතිවරු හා රාජ්‍යතාන්ත්‍රිකයන් ළඟටම ගොස් සාකච්ඡාවන් හි යෙදීමෙන් ඉතා සතුටින් කාලය ගත කරනු පෙනිණි.

මෙය වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ජනාධිපති කොට්ට පොර තරගය නරඹමින් සිටින අවස්ථාවේ එතනට වටවී ප්‍රකාශයක් ගන්නට උත්සාහ කළහ. ජනාධිපතිවරයා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා කැඳවා මෙන්න මේ අයටත් අවුරුදු උත්සවයේ තරග කරන්නට හොඳ ක්‍රීඩාවක් දෙන්නැයි කීවේ ය. ධනුෂ්ක නිරුත්තර වෙද්දී ජනාධිපති යෝජනාවක් කළේය.

“මේ ගොල්ලන්ගේ වැඩේ 24 පැයේම මට ගහන්න පොරකන එකනේ. ඒක හින්දා අපි මේ ගොල්ලන්ව දාමු කොට්ටපොර ගහගන්න.” එසේ කියමින් ජනාධිපතිවරයා එතනින් නික්ම වෙනත් පැත්තකට යන්නට ගියේය.

ජනාධිපති කතුරු ඔන්චිල්ලාව ළඟට යන විට ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක හා මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් කතුරු ඔන්චිල්ලාවට නැග ඉහළට යමින් සිටියේය. ජනාධිපති ඒ දෙස බලා සිටියේය. එතනට කිට්ටු වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඔවුන්ට විහිළුවක් කළේ මෙසේය.

“දැන් සර් අපිට ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ. ඒ මොකද ආරක්ෂාව භාර අර දෙන්නම දැන් ඉන්නේ මේ මුළු ප්‍රදේශයම හොඳට පේන තැනක. අනතුරක් තිබුණොත් ඒක හොඳට පේනවා නේ.

මේ අයුරින් ජනාධිපතිවරයා සහභාගි වූයේ ජනාධිපති කාර්යාලයේ අවුරුදු උත්සවයට පමණක් නොව, කොළඹ අවට පැවති අවුරුදු උත්සව ගණනාවකට ම ඔහු සහභාගි වූ අයුරු අපට දැකගත හැකි විය.

● නවයේ ඇත්ත ගැන විමල්ගේ කතාව

පසුගිය සතියේ මුළු රටේම අවධානය යොමු වූ තවත් කාරණාවක් වූයේ ගෝල්ෆේස් අරගලයේ ඇත්ත කතාව ගැන විමල් වීරවංශ ලියූ පුස්තකයයි. මෙම පොත වූ කලී “ගෝඨාභය ජනාධිපති ගෙදර යවා රනිල් ජනාධිපති කළ” ගෝල්ෆේස් අරගලයේ ඇතුලාන්තය ගැන අපේ දේශපාලනඥයෙක් විමර්ශනාත්මකව ලියන ලද පළමුවැනි පර්යේෂණාත්මක අධ්‍යයනය යි. මෙම පොත එළි දක්වනු ලැබූවේ පසුගිය විසි පස්වෙනිදා පදනම් ආයතනයේ පැවැත්වුණු විශේෂ උත්සවයකිනි.

මහා සංඝරත්නයට තෝරාගත් දේශපාලනඥයන්ට හා පැවිදි උගතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වන්නයි ආරාධනා කර තිබුණි. කෙසේ වෙතත් මෙහිදී වඩාත් අවධානයට ලක් වූ කාරණාව වූයේ විමල් වීරවංශ හතර වටේටම වදින පරිදි පවත්වන ලද විචාරාත්මක දේශනයයි. ඇමරිකාවට හා බටහිර රටවල්වලට විමල් එහිදී මදි නොකියන්නට පහරදුන් අතර පොත පුරාම තිබෙන කරුණුවලින් ද ඔහු පෙන්වා දී තිබුණේ මේ අරගලය නිර්පාක්ෂිකයන්ගේ නිසර්ග සිද්ධ නැගිටීමක් නොව, බටහිර ජාතීන්ගේ කුමන්ත්‍රණයක් බවයි.

කවුරු මොනා කිව්වත් මෙම පොත පළමුවෙන්ම කියවා තේරුම් ගත් කෙනා ලෙස අප දුටුවේ ඇමෙරිකානු තානාපතිවරියයි.

ඇමරිකානු තානාපතිවරිය හැරෙන තැපෑලෙන්ම පොතේ ඇති විවේචනයට පිළිතුරක් දුන්නේය. ඇය කීවේ මෙම පොත මහ පොළොවේ සත්‍යයක් නොව, තනිකරම විමල් වීරවංශගේ නිර්මාණාත්මක සිතුවිල්ලක් හා නිබන්ධනයක් බවයි. මේ පොත ගැන දේශපාලන කරළියේ ලොකු උනන්දුවක් හා අවධානයක් තිබූ බව පැහැදිලි විය.

● ඇමැති ටිරාන්ගෙන් පොලිසියට ඔවදනක්

පසුගිය සතියේ අපේ අවධානය දිනූ තවත් කාරණාවක් වූයේ ටිරාන් අලස් හා අජිත් රෝහණ ගැටලුවයි.

ගැටලුව ඇතිවූයේ ඇමැතිවරයා විසින් කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුගේ මාරු කිරීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සහිත ලිපියක් නිසා ය. අජිත් රෝහණ මහතා පෙන්වා දී තිබුණේ මේ මාරුකිරීම ඇමැතිවරයාගේ පළිගැනීමක් ලෙසයි.

මේ සමගම පොලිස් කොමිසම වෙත තවත් අභියාචනයක් ලැබී තිබිණි. ඒ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගෙනි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පසුපස ලොකු කතාවක් තිබිණි. අපේ පොලිසියේ පොලිස්පතිවරයාට පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 13 දෙනකු සිටිති. ඇමැති ටිරාන් පසුගිය 18 වැනිදා පොලිස්පතිවරයා ද අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහිතව මේ ඉහළ නිලධාරීන් 13 දෙනාගේ රැස්වීමක් කැඳවනු ලැබීය. ඒ රැස්වීම කැඳවූයේ පොලිසිය තුළ ඒ වන විට සාකච්ඡා කර නිරාකරණය කර ගැනීමට අවශ්‍ය ප්‍රශ්න රාශියක් තිබෙනවා යැයි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ම කළ ඉල්ලීමක් නිසා ය. මෙහිදී මුලින්ම නියෝජ්‍ය පොලිස්පතිවරු තමන්ට විසඳාගැනීමට ඇති ගැටලු තනි තනිව ඉදිරිපත් කළහ. ඒවා ඒ අවස්ථාවේ ම සාකච්ඡා කර විසඳුම් සොයා ගන්නට උත්සාහ කළහ.

“දැන් මට කියන්න… මේ ප්‍රශ්න මේ පහුගිය අවුරුද්ද ඇතුළත ඇති වෙච්ච ඒවා ද නැද්ද…” ටිරාන් එසේ ඇසුවේ හේතුවක් ඇතිවය.

“නෑ සර්… ඒවා කාලයක් තිස්සේ දිගින් දිගටම පොලිසිය ඇතුළාන්තයේ තිබුණු ප්‍රශ්න…”

“මම එහෙම ඇහුවේ හේතුවක් ඇතුව. අපි දැන් ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. සමහර ඒවට උත්තර හොයා ගත්තා. ඒ නිසා මටත් තියෙනවා කාරණා දෙකක් ඔයගොල්ලන් දැනුවත් කරන්න. මොකද ඔයාලා තමයි ශ්‍රී ලංකා පොලිසියේ හදවත බදු ඉහළම මණ්ඩලය.

හැබැයි පහුගිය දවස්වල පොලිසිය ඇතුලේ තිබුණු පොලිස්පති පත් කිරීම කියන ගැටලුව නිසා ඔයගොල්ලෝ එක්කෙනාට එක්කෙනා ඇර ගන්න පටන් ගත්තා. සමහරු සෝෂල් මීඩියා එක පාවිච්චි කරල මහා නරක විදියට තමන්ගෙ අනිත් කෙනාට විරුද්ධව එක එක කැම්පේන් ගෙනිච්චා. හැබැයි ඔයාල දැනගන්න.. මමත් ඉන්නේ මීඩියා එකක. සෝෂල් මීඩියා අල්ලන් කවුරු මොනවා කළත් පැය හතලිස් අටක් යන්න කලින් මට ආරංචි වෙනවා කවුද මේක කළේ, කවුරු වෙනුවෙන්ද කළේ, කවුරු යොදාගෙන කොහොමද කළේ, කියන කාරණා ටික. ඒක නිසා මේවා කරන්න එපා. ඔයාලා එක පවුලක් විදියට වැඩ කරන්න.

මට කියන්න තියෙන ඊළඟ කාරණාව තමයි… මම ඔයාලට ඕනෑම අවස්ථාවක ඉඩදීලා තියෙනවා ටෙලිෆෝන් එකෙන් මට කතා කරන්න. ඒ වගේම මුණගැහෙන්න. එහෙම තියෙද්දි ප්‍රශ්නයක් තියෙනව නම් මා එක්ක සාකච්ඡා කරන්නේ නැතුව පොලිස්පතිට ලියුම් හදන්නයි අත්සන් එකතු කරන්නයි යන්නෙ මොකටද… මම මෙහෙම කියන්නේ මගේ ළඟ තියනවා එහෙම හදලා 13 දෙනාගේ අත්සන් ගන්න යවපු ලියුමක පිටපතක්. මම දන්න කවුරුත් අත්සන් කරලා නෑ. මට මේවා හදන්නෙ කවුද කියන එක වැඩක් නෑ. ඔක්කොම සාකච්ඡා කරන්න තිබුණ පහුගිය අවුරුද්ද ඇතුළත එහෙම වැරදි වෙලා තියෙනවා නම්…

“මමයි සර් ඒ ලියුම හැදුවේ. හැබැයි මේක මම හැදුවේ පොලිස්පති තුමා මට කියපු නිසයි…”

“නෑ නෑ මම කිව්වේ ඕවා ලියන්න නෙවෙයි. පොලිසිය නඟාසිටුවන්න, දියුණු කරන්න යෝජනා තියනව නම් අලුත්… ඒවා ලියන්න කියලා…” පොලිස්පති ද ගත් කටටම කීවේය.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා විශේෂ යෝජනාවක් කළේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු කිරීම් සම්බන්ධවයි…

“ඉස්සර නම් ක්‍රමයක් තිබුණා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ ඒ පළාත්වලට යවන. ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තමයි උතුරට නැගෙනහිරට දැම්මෙ. වැඩිම අය බස්නාහිර මධ්‍යම වගේ තමයි හිටියෙ…

“නෑ අපි ඒ ගැන සාකච්ඡා කරලා ක්‍රමයක් හදලා තියෙනවා ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්කිරීම් දෙන. ඒ ක්‍රමයට අනුව තමයි ඉස්සරහට අපි මාරු කිරීම් කරන්නේ.”

එම සාකච්ඡාවලට පසුව ඇමැතිවරයා, පොලිස්පතිවරයාත් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් තවත් රැස්වීමකට කැඳෙව්වේය. දකුණු පළාතේ පොලිසියේ පරිපාලනය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ටිරාන් පවසා ඇත්තේ අජිත් රෝහණ සමඟ තනිව කරන සාකච්ඡාවක නොව, එම හතර දෙනාම සහභාගි වුණු සාකච්ඡාවේදී ය.

කෙසේ වෙතත් අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග පවසන පරිදි අමාත්‍යවරයා ලේකම්වරයා හා පොලිස්පතිවරයාට සමඟ මාරු කිරීම් කර ඇත්තේ පළමුවෙන්ම පළාතේ ජනගහනය හා භෞමික වැදගත්කම පළාත් පෙළගැස්මකුත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව වෙනම ලැයිස්තුවක් සකසා දෙක ගෙන සංසන්දනය කිරීමෙනි.

ඒ කෙසේද යත් වැඩිම ජ්‍යෙෂ්ඨත්වය ඇති කෙනා වැඩිම වටිනාකමක් ඇති පළාත වන බස්නාහිරටත් දෙවැනි ජ්‍යෙෂ්ඨයා ලංකාවේ දෙවැනි පළාත වන මධ්‍යමටත් තෙවැනි ජ්‍යෙෂ්ඨයා දකුණටත් යන අනුපිළිවෙළට ය. එහිදී අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨත්වය අනුව ලැයිස්තුවේ දහවැනියා බැවින් ඔහුට නිරායාසයෙන් හිමිව ඇත්තේ නැගෙනහිර පළාතයි.

මේ පිළිබඳ නොයෙක් කතා නොයෙක් ආකාරයෙන් පසුගිය දිනවල සමාජය පුරා පැතිර ගියේය.

අනිත් නියෝජ්‍ය පොලිස්පතිවරු කෙසේ වෙතත් අජිත් රෝහණ යනු ලක් වැසියන් බොහෝ දෙනා දන්නා හඳුනන බොහෝ දෙනා කැමැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. බොහෝ දෙනෙකුට මතක ඇත්තේ පහුගිය කොරෝනා සමයේ ඔහු මහජනතාව ඉදිරියට පැමිණ ජනතාව දැනුවත් කරමින් මාධ්‍යවේදීන් සමග ද සුහදතාවය ගොඩ නගා ගනිමින් වැඩ කළ ආකාරයයි. එහෙත් ඒ මිනුම්දඬුවලට පොලිසිය බඳු ආයතනික රාමුවක් තුළ ඇති වලංගුතාවය කුමක්දැයි ප්‍රශ්නයක් තිබේ.

● ප්‍රසන්න රණතුංග
රහසක් හෙළි කරයි

ඇමැති ප්‍රසන්න රණතුංග පසුගිය ඉරිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන නියෝජිත සමුළුවට සහභාගී විය. සති කිහිපයක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පසු ඔහු සහභාගී වූ පළමු දේශපාලන වැඩකටයුත්ත එය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සහභාගි වූ මෙම ජනහමුවට නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.

එහිදී ඇමැති ප්‍රසන්න පැවසුවේ වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙන යෑමට තම පක්ෂය ජනාධිපතිවරයාට උපරිම සහය දක්වන බවය. පසුගිය ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදීත් පොහොට්ටුව ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම අවශ්‍ය බවද ඔහු පැවසුවේ උණුසුම් ජනතා ප්‍රතිචාර මතය.

එහිදී ඇමැතිවරයා පොදුජන පෙරමුණ පිහිටුවීමට පෙර නුගේගොඩ මහින්ද සුළඟ ජනහමුව සංවිධානය කිරීමට කැපවුණු අයුරු සිහිකළේ තරමක සංවේදීවය.

“සමහරු හිතනව මේ පක්ෂය දිය කරන්න. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ” ඇමැතිවරයා පැවසුවේ තිර හඬිනි.

“අපේ පක්ෂය ජනතාවට නිදහස දීපු පක්ෂයක්. මිනීමරල, දේපළ මංකොල්ල කාපු නැති නායකයො ඉන්න පක්ෂයක්. මේ වගේ පක්ෂයක සාමාජිකයකු වීමත් මට නම් ආඩම්බරයි” ඔහු කීවේ බලය ගන්න පාරම්බාන දේශපාලන පක්ෂවල අතීත පැටිකිරිය ද සිහිපත් කරමිනි.

එම ජනහමුව අවසන්වීමෙන් පසුව ඇමැති ප්‍රසන්න හා නාමල් රාජපක්ෂ තේ මේසයට ආවේ ආගිය තොරතුරු කතා කරමිනි.

“අපි හිතාගෙන හිටියේ ඔබතුමා ලයින් එක මාරු කරල කියල. ඒත් අද කතාව ඇහුවම අපේ අදහස වැරදි බව තේරුණා” එහි සිටි අයකු කීය.

“මම මට දැනෙන ඇත්ත කතා කරනවා. මගේ කතා විලාශය වෙනස්. කියන්න ඕන දේ කෙළින්ම කියනව. මම නම් එදත්, අදත්, හෙටත් මහින්ද මහත්තය වෙනුවෙන් කඩේ යනවා කියල මම ඕනම තැනක කියනවා.”

“ප්‍රසන්න ඇමැතිතුමාගාව හැංගිල ගැහිලි නෑ. කියන්න තියෙන දේ කෙළින්ම කියනවා.” නාමල් කීය.

“ප්‍රසන්න ඇමැතිතුමා මහින්ද මහත්තයට පණ ඇරල ඉන්නෙ. ඇමැතිතුමා හැමදාම මහින්ද මහත්තයට කතා කරන්නේ ජනාධිපතිතුමා කියල. ප්‍රසන්න ඇමැතිතුමා හැමදාම හරි පැත්තෙ හිටගත්ත කෙනෙක්. ඒකනේ හිටපු ගමන් පාර්ලිමේන්තුවේදි අපිටත් බර බරේ දාන්නෙ” ඒ සංජීව එදිරිමාන්න ය.

“ඇත්තද? අගමැතිතුමා වෙනස් කරනව කියන්නේ” තවකෙකු ඇසීය.

“ඕව මේ අපිව කොටවන්න කියන කතා මල්ලි. සමහරු කියනව සජිත් මහත්තය තනතුරු ඉල්ලගෙන යන කෙනෙක් නෙවෙයි. ඕව බොරු කතා” ඇමැතිවරයා කීය.

● ජනපති සටනට රනිල් පොහොට්ටුවෙන්

පළාත් පාලන මැතිවරණය කල් ගිය පසුබිමක මුළු රටම බලා සිටින්නේ ඊළඟට පවත්වනු ලබන මැතිවරණය දෙසය. බොහෝවිට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි දේශපාලන ලෝකයේ කතාබහ පැතිරේ.එවැනි පසුබිමක පසුගිය සඳුදා මානව හිමිකම් කොමිසම වෙත පැමිණි ඇමැති ප්‍රසන්න මාධ්‍යවේදීන් හමුවේ දේශපාලන රහසක් හෙළි කළේය.

“ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා. ඇතැම්විට ඒ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වුණොත් තමන් ඔහුට සහය පළ කරන බවද ඇමැතිවරයා කීය.”

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment