උසස් පෙළ විභාග දින වෙනස් කරනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

279


හරිම කාලසටහන ලබන සතියේ දී විභාග කොමසාරිස් කියයි

මෙම වසරේ (2023) නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම සඳහා මේ වන විට අවධානය යොමු වී ඇති බවත් විභාග කොමසාරිස්වරයා විසින් සංශෝධිත එම දින ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21 දා) පැවසීය.

එහිදී ඔහු මෙසේ ද කියා සිටියේය. 2022 අපොස උසස්පෙළ ප්‍රතිඵල ප්‍රමාදවීම නිසා යෝජිත අපොස උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබූ අතර එය දෙසැම්බර් මස 21 වැනි දින අවසන් කිරීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් සිසුන් විශාල පිරිසක් මෙම විභාග දිනය කල් දමන ලෙස ඉල්ලීම් කළ අතර පාර්ලිමේන්තුවේද ආණ්ඩුවේ සහ විපක්ෂයේ විශාල පිරිසක් ද එම ඉල්ලීම කළහ.

ඒ අනුව විභාග පැවැත්වීමේ යෝජිත කාලවකවානුව සලකා බැලීමේදී කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කළ යුතුය.

2023 අපොස උසස්පෙළ විභාගය 2024 ජනවාරි මාසය දක්වා කල් දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් ගැනද අපි මෙහිදී සලකා බැලිය යුතුය. ලබන වසරේ මාර්තු – අප්‍රේල් අවසන් කිරීමට සූදානම් කර තිබෙන 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි ජුනි දක්වා කල් දැමීමට සිදු වනු ඇත. 2023 උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජුලි මාසයේදී සිදු වනු ඇත. 2024 ජුලි මාසයේදී එම ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව 2024 පෙනී සිටින උසස්පෙළ අයැදුම්කරුයන්ට ද අමතර කාලයක් ලබා දීමට සිදු වනු ඇත. එසේ වුවහොත් 2024 උසස්පෙළ විභාගය එම වසරේ දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල් යනු ඇත. ඒ අනුව දැනටමත් අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කිරීම තවදුරටත් කල් යනු ඇත. පාසල් විභාග ද මෙසේ අක්‍රමවත් වීමෙන් පාසල් වාර සටහන ද ප්‍රමාද වීමට ඉඩ ඇත. ඉන් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කර ගැනීමද දින කිහිපයකින් ප්‍රමාද විය හැක. ඒ අතරේ 12 සහ 13 වසර පංති කාමරවල ඉඩ කඩ ප්‍රශ්න ද ඇති වනු ඇත. එවිට විශ්වවිද්‍යාල ප්‍රවේශයද ප්‍රමාද වනු ඇත.

කෙසේවෙතත් මේ සියල්ල සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන ලෙස යෝජිත අපොස උසස්පෙළ විභාගය පැවැත්වීමේ දිනවකවානු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. ඒ අනුව විභාග කොමසාරිස්වරයා විසින් සංශෝධිත දිනය නිශ්චිත ලෙස ලබන සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇත. කෙසේ වෙතත් උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සහ දෙමාපියන් විභාගය කල් නොදමන ලෙසට ද ඉල්ලීම් වට්ස්ඇප් මාර්ගයෙන් සිදු කර ඇති බවත් මා මෙහිදී දැන්විය යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment