අපේ රටේ පසුගාමීත්වයට හේතු විමසන විට සංහිඳියාවේ වටිනාකම තේරුම් යනවා

68

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්

‘සිතමු’ දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ දේශපාලන, සමාජ, ආර්ථික කරුණු කාරණා ගැන සාකච්ඡාවට බඳුන් කළ ලිපි පෙළකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් විසින් සපයන ලද මෙම ලිපි පෙළ එළැඹෙන 10 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සවස 4.15 ට ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට නියමිතය. මේ ඒ ගැන ඉම්තියාස් බාකීර් මාකාර් සමග කරන ලද සංවාදයකි.

අද වෙනකොට ප්‍රශස්ත දේශපාලඥයෙක්. යම් විදිහකට ඔබ දේශපාලනය තෝරා නොගත්තානම් ඔබ මාධ්‍යවේදියෙක් ද?. ලේඛකයෙක් ද?.

මම වෘත්තියෙන් නීතිඥයෙක්. මම වසර 8ක් පමණ ඒ වෘත්තියේ යෙදී සිටියා. මගේ පියතුමාත් නීතිඥයෙක්. පුංචි කාලෙදි පටන්, මට මගේ තාත්තා වීරයෙක් වුණා. කුඩාකාලෙදි ඔහුව අනුකරණය කිරීම මගේ ඔළුවේ වැඩකළා. විශ්වවිද්‍යාල ප්‍රවේශය මට ලැබුණත් නීති පීඨය ලැබුණේ නැහැ. ඒ නිසා තාත්තා වගේ නීතිඥයෙකු වීමේ සිහිනයට බාධාවක් ආවා.

පසුව කැලණි සරසවියේදී මගේ කණ්ඩායමේ පළමු වසරේ වැඩිම ලකුණු ලබාගත් සිසුන්ට තේරීමක් තිබුණා. ආර්ථික විද්‍යාව හෝ ජනසන්නිවේදනවේදය පිළිබඳ විශේෂවේදී උපාධිය කිරීමට. මම තෝරාගත්තා දෙවැන්න. ඒ මාධ්‍ය ක්ෂේත්‍රය. ඊට පස්සේ ඒ උපාධිය සම්පූර්ණ කරලා නීතිය කරන්නට මම කල්පනා කළා. නීති විද්‍යාලයට මම තේරුණා. හැබැයි මේ සියල්ල කරන අතරතුර ආනන්දයේ පාසල් ශිෂ්‍යයෙකුව සිටි කාලයේ පටන් මම ශිෂ්‍ය සංවිධාන කටයුතු තුළින් දේශපාලනයට ආකර්ෂණය වුණා. ගෙදර පසුබිමත් ඊට බලපෑවා.

ඊට අමතරව ආනන්දයේ සිටියදීම ලේඛන කලාවට යොමුවුණා. ආනන්දයේදී මම ආනන්ද “කිරණ” බිත්ති පුවත්පතට ලියූ කෙටිකථාවක් වසරේ හොඳම කෙටිකතාව ලෙස තේරුණා. එවකට සිටි ජ්‍යෙෂ්ඨ සහ කීර්තිමත් මාධ්‍යවේදියෙකු වූ, පියසේන නිශ්ශංකයන් අතින් මට එයට තෑගි පිරිනැමුණා. පසුව කිරණ බිත්ති පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ලෙසත්, පාසලේ ප්‍රධාන සඟරාවේ සංස්කාරක ලෙසත් කටයුතු කරන්නට මාව තෝරාගත්තා. මේ අතර කාලයේදී සියරට, දිනපතා වැනි දේශපාලන පුවත්පත්වලට, නීතිවිද්‍යාල සඟරාවට, ජාතික පුවත්පත්වල තරුණ පිටුවලට ලිපි ලියන්නට මම පටන් ගත්තා.

නීති වෘත්තියේ ඇති ඒකාකාරී බවට වඩා, කළ හැකි පුළුල් ජන මෙහෙවර හේතුවෙන් මම පූර්ණ කාලීන දේශපාලනය තෝරාගත්තා.

මේ වෙනකොට ඔබ කෘති පහක් පමණ රචනා කරලා තියෙනවා. එයිනුත් ඔබ වැඩියෙන් ඉලක්ක කරලා තියෙන්නේ සිංහල පාඨක සමාජය. මෙය ඔබ ආනන්දයෙන් අරගෙන ආපු දෙයක් ද?. නැත්නම් ඔබේ පියා ඔබට තිළිණ කරපු දෙයක්ද?.

කුඩා කල සිට මා හැදුණු වැඩුණු මගේ නිවසේ පසුබිම, අවට සිංහල ගම්මාන, මා ගිය කතෝලික, බෞද්ධ, ඉස්ලාමීය පාසල් ආදියේ ආභාෂය හේතුවෙන්, සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් පටු ආකල්පවලට යාමකට හෝ, කොටුවීමකට මා ගොදුරුවුණේ නැහැ.

ලේඛකයෙකු වීම කෙරෙහි මගේ ජාන බලපාන්නට ඇති. ඒත් ඒ හැකියාවන් ඔපමට්ටම් කරගන්නට ආනන්දයේ තිබූ පසුබිම සහ ගුරුවරු ප්‍රබලතම සාධකය වුණා.

ඔබේ අලුත්ම කෘතිය තමයි “සිතමු”. මේ කෘතිය පුරාම දකින්නට තියන දෙයක් තමයි මානව බැඳීම, ජාතික සංහිදියාව, වගේ කාරණා. බොහෝ දේශපාලනඥයන් ජාතිවාදය ආගම්වාදය කල්ලිවාදය යොදා ගනිද්දී ඇයි ඔබ සංහිඳියාවට මේ තරම් කිට්ටු වුණේ?

අපේ රටේ පසුගාමීත්වයට හේතු විමසන විට සංහිඳියාවේ වටිනාකම තේරුම් යනවා.

ලීක්වාන් යූ වරක් කිව්වා, වර්ගවාදය ශ්‍රී ලංකාවේ පසුගාමීත්වයට ප්‍රධාන හේතුවයි කියලා. සංහිඳියාව නොමැතිකම නිසා අපි ජීවිත වලින්, ලේ වලින්, දේපළ වලින් ඕනෑ තරම් වන්දි ගෙවලා තිබෙනවා, රටක් හැටියට.

කෝටි ගණන් මුදල් දීලා දියමන්තියක්, මැණිකක් මිලදී ගන්නේ එහි වටිනාකම දන්නා නිසයි. සංහිඳියාවේ වටිනාකම මිල කරන්නට බැහැ.

එදා නිදහස ගන්නා විට ආසියාවේ ස්විස්ටර්ලන්තය වෙන්නට යන රට බවට ලෝකයා අනාවැකි කී අපේ රට, අද මේ තත්ත්වයට වැටී ඇති හේතු විමසන විට, සංහිඳියාව නොමැතිකම ඊට ප්‍රධාන හේතුව බව පැහැදිලියි.

එදා පැය 24න් සිංහල කියන විට බර්ගර් ජාතිකයෝ රට අත්හැරලා ඔස්ට්‍රේලියාවට ගියා. තවදුරටත් අපට මේ රටේ අනාගතයක් නැහැ කියලා ඔවුන් කල්පනා කළා. වාර්ගික ගැටුම් නිසා සුළු ජන කොටස් පසුකාලෙදි රට හැර ගියා. ලෝකයේ හිස එසවූ රටවල් විවිධත්වය සම්පතක් කරගනිද්දී, අපි එය බරක් කරගෙන තිබෙනවා.

එදා “ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ධර්මද්වීපය” ලෙසින් හැඳින්වුණු අපේ රට වාසනාවන්ත රටක්. ඒ වාසනාව අපි නැතිකරගෙන තිබෙනවා. සිදුව ඇති වැරදීම් අවබෝධ කරගෙන, නිවැරදි මගකට රට යොමුකර ගන්නට අපි හැමෝම වගකීමෙන්, ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.

“සිතමු” තුළින් මා උත්සාහ කර ඇත්තේ ඒ වගකීම ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරන්නටයි.

ඔබ සතුව දශක ගණනාවක දේශපාලන අත්දැකීම් තියෙනවා. ඒ සියල්ල කැටිකරගත් කෘතියක් කියවන්න ඔබේ පාඨකයින්ට ඉඩ ලැබෙන්නේ කවදාද?

මම මැතිවරණවලට තරග නොකර සිටි පසුගිය වසර කිහිපය තිස්සේ, මගේ සිතුම් පැතුම්, මුහුණදුන් අභියෝග, අත්දැකීම් ආදී සියල්ල ඇතුළත් කළ ස්වයං චරිතාපදානයක් සඳහා වෙහෙසුණා. දැන් එය සම්පූර්ණ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, සරත් අමුණුගම යන මහත්වරුන් ඉංග්‍රීසි බසින් තම ස්වයං චරිතාපදාන ලියා තිබෙනවා. මම මගේ ස්වයං චරිතාපදානය සිංහලෙන් ලියලා, දැන් එය ඉංග්‍රීසියට සහ දෙමළට පරිවර්තනය කරගත්තා. තව මාසයක් දෙකක් ඇතුළත ඒවා ජනගත කරන්නට මම දැන් කටයුතු කරමින් ඉන්නවා.

ස්වයං චරිතාපදානයක් ලිවීම ලෙහෙසි නැහැ. එය කියවන විට පාඨකයා තුළ මේ ලිවීම පිළිබඳව “මමත්වය” මතුවීම ගැන සැක සංකාවන් ඇතිවෙන්නට පුළුවන්. පෘතග්ජන මිනිසෙකු තමන්ගේ කථාව තමන් විසින්ම ලියන විට එවැනි අඩුපාඩු ඇතිවීමට ඉඩ තිබෙනවා. එම නිසා එය බොහොම ප්‍රවේසමෙන් ලිවිය යුත්තක්. මේ සියලු කරුණු මේ පොත ලිවීමේදී මගේ සිතේ වැඩ කළා.

එය නම් කර ඇත්තේ “මගේ කථාව” ලෙසයි.

“මගේ කතාව”ට ඔබ අන්තර්ගත කර ගත්තේ මොනවාද?

මගේ බාල කාලය, ගම සහ ඒ හා බැඳි මතකයන්, ගිය පාසල් සහ ඒ හා බැඳි මතකයන්, සරසවි ජීවිතය, ශිෂ්‍ය දේශපාලනයේ සහ ජාතික දේශපාලනයේ ක්‍රියාකාරකම්, මුහුණදුන් අභියෝග, අත්දැකීම් මෙන්ම දෙමාපියන්, සොයුරු සොයුරියන් සහ දරු පවුල සමගින් වූ සොඳුරු මතකයන් හා බැඳි අත්දැකීම්ද මගේ කථාව තුළ ඇතුළත්වී තිබෙනවා.

අපේ දේශපාලනයේ ඇති තරගකාරීත්වය තුළ, මුහුණදුන් මුදල් බලය, වර්ගවාදය ඇතුළු කටුක අප්‍රසන්න අත්දැකීම් වලදී මුලින්ම ඇතිවන කේන්තිය වැනි සිතිවිලි, බුද්ධිය මෙහෙයවා දෙවෙනි සිතිවිල්ලෙන් ඒවා මැඬගෙන කටයුතු කිරීමට මම බොහෝවිට ගත් උත්සාහයන්ද මේ කථාවේ ඇතුළත් වෙනවා. අරමුණක් සහ දැක්මකින් යුතුව දේශපාලනය කිරීමේදී, හැකිතාක් මේවා දරාගෙන මගේ වගකීම් සද්භාවයෙන් ඉටුකිරීමට උත්සාහ කළ අවස්ථාවන් මේ පොත තුළින් දැක ගන්නට පුළුවන්.

“මගේ කතාව” පෘතග්ජන මිනිසෙකු මුහුණදුන් අභියෝග, අත්දැකීම් සහ සිතුම් පැතුම් හා බැඳුණු කථාවක්.

“මගේ කතාව” අපේ වෙන්නේ කවදාද?

“මගේ කථාව” තව මාසයක දෙකක් කාලය තුළ ජනගත කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොනවගේ රටක්ද?

අපි කොයිරටේ උපන්නත්, ජීවත්වුණත්, විශ්වයේ ඉන්න මිනිස් සංහතියම, එක මිනිස් පවුලක් විදියටයි මම දකින්නේ. අපිට උරුම වී ඇතැයි කියන ජාතිය, කුලය වැනි මේ කිසිවක් අපි ප්‍රාර්ථනා කළ දේවල් නොවෙයි. මේවා බදාගෙන රණ්ඩු කරන්නට යෑම මහ මෝඩකමක්. මාටින් ලූතර් කිංග් ගේ “මට සිහිනයක් ඇත” යන ලෝක ප්‍රසිද්ධ කථාවේ හරය මට සිහිපත් වෙනවා.

අද බලන්න, කැනඩාව වගේ රටක්. ලංකාවෙන් එහෙට සරණාගතයො ලෙසින් ගිය අපේ රටේ උදවිය අද ඒ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ, දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම තැන්වලට ගිහින්. ඔවුන්ගේ සමේ පාටවත්, සම්භවය කුමන් රටකින්ද යන එකවත්, ආගමවත්, වෙනත් දෙයක්වත් ඔවුන්ට තම හැකියාවන් තුළින් ඉහළට යන්නට බාධාවක් වෙලා නැහැ. ඔවුන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගෙන, ඔවුන් තුළත් “මේ මගේ රට” යන හැඟීම කාවද්දන පසුබිමක් තුළ, රට පොහොසත් කරන්නට, රට ඔසවා තබන්නට අද කැනේඩියානු ජනතාවට පුළුවන්වෙලා තිබෙනවා.

ලෝකයේ ගැටුම්වලින් සරණාගතයන් බවට පත්ව ලොව නන් දෙසින් කැනඩාවට එන මිනිසුන්ව, වෙනත් ඇතැම් දියුණු යැයි කියන රටවල් වගේ නොවෙයි, මිනිස්කමින් පිරුණු හදවතින් කැනේඩියානු ජනතාවත්, ඔවුන්ගේ නායකයනුත් පිළිගන්න සංවේදී දර්ශන අපි දකිනවා.

ලොව ප්‍රධාන ආගම් හතරෙන් පෝෂණය වූ අපේ මාතෘභූමිය, ලොවට යහපත් වටිනාකම්, සාරධර්ම පෙන්වන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධර්මද්වීපයක්, විවිධත්වය බරක් නොව සම්පතක් ලෙසින් සලකන පින් බිමක් කරගැන්ම, අප කාගේත් අධිෂ්ඨානය මෙන්ම ප්‍රාර්ථනාව විය යුතු යයි මම කල්පනා කරනවා.

නිදහස ලබලා දශක හතක් ඉක්මවා ගිහිල්ලත් ඇයි අපිට ඒ ප්‍රාර්ථනා කරන රට ගොඩනඟන්න තවම බැරිවෙලා තියෙන්නේ?.

මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී “සිතමු” කෘතියේ “දුර නොදැක අනතුරට අතවනන්නෝ” මැයෙන් වූ 98වන ලිපිය කියවන්නට මම ඔබට ආරාධනා කරනවා.

සමාජයක් ලෙසින් රටේ පුරවැසියන් සියලු දෙනාටම මේ පිළිබඳව උත්තර බැඳීමක් කරන්නට තිබෙනවා. දේශපාලන පැවැත්ම සඳහා ඇති දේශීය බල තරගය, මෙන්ම වෙළඳ තරගයන්ද, ජාත්‍යන්තර තරගයේ බලපෑම්ද මේ අසාර්ථකත්වය හේතුවී තිබෙන බවට කරන චෝදනා බැහැර කරන්නට බැහැ.

නිදහසින් පසු මුල් අවදියේ අපට ප්‍රශස්ත දේශපාලනයක් තිබුණා. ප්‍රශස්ත දේශපාලනය කළ දේශපාලනඥයන්ද සිටියා. ඒත් 50 දසකයෙන් පසු ඒ තත්ත්වය වෙනස් වුණා. ජාති, ආගම්, පන්ති වශයෙන් වෛරය, ක්‍රෝධය වපුරමින්, අපව බෙදමින්, අවස්ථාවාදී ලෙසින් බලය සඳහා කළ දේශපාලනය, රට තුළ ගැටුම් වැඩිකර අපේ රට පසුගාමී කර තිබීම අද අපි දකිනවා.

ඒත් මේ සියල්ල අභිබවා අපට හිස ඔසවන්නට පුළුවන්. අපේ රටේ පුරවැසියන් මෙයට වඩා අවදියෙන් සහ බුද්ධිමත්ව, විචාරශීලීව තම වගකීම් ඉටුකරනවා නම්.

ඒ වගේම අපේ නායකයන්ද, තිරසාර අදිටනින් යුතුව දුර දැක්මකින්, සද්භාවයෙන් කටයුතු කරනවා නම්.

ඔබට හිතෙන්නේ නැද්ද පොතපත තුළින් සමාජයක් වෙනස් කරන්න පුළුවන් කියලා?

සමාජයක් වෙනස් කරන්නට පොතපත තුළින් ලොකු බලපෑමක් කරන්නට පුළුවන්. ආගමික ශාස්තෘවරුන්, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ඉදිරිපත් කළ කරුණු, මතවාදයන් කැටිකරගත් පොත්පත් තුළින් සමාජ ගමන් මාර්ග වෙනස්ව ඇති ආකාරය අප ඉතිහාසය පුරා දකිනවා. මහත්මා ගාන්ධිගේ, ඩෙස්මන් ටුටූගේ, නෙල්සන් මැන්ඩෙලාගේ, මාටින් ලූතර් කිං වැන්නන්ගේ චරිතාපදාන තුළින් අපේ ජීවිතවලට පන්නරයක් ලැබෙනවා.

පොතපත කියන්නේ මිනිසාට අලුත් අගයක් එකතු කරන දෙයක්. ඒකයි “කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරනවා” කියා ජනවහරේ කියමනක් තියෙන්නේ.

ඔබට හිතෙන්නැද්ද දේශපාලනඥයෙක් වෙලා බැනුම් අහනවට වඩා, ලේඛකයෙක් වෙලා ආදරේ හිමිකර ගත්තා නම් මීට වඩා හොඳයි කියලා දේශපාලනඥයෝ වගේම ලේඛකයොත් බැනුම් අහනවා. මාටින් වික්‍රමසිංහ අතිවිශාල නවකතා පොත් ප්‍රමාණයක් සමාජයට තිළිණ කරමින් මහා ආදරයක් දිනාගත් ලේඛකයෙක්. ඒත් ඔහු “බවතරණය” ලිවූ පසු බැනුම් අහන්නට පටන්ගත්තා. ආදරය සහ බැනුම් ඇසීම කියන දේ සමාජය තුළ තමන් අදහන, තමන් පිළිගන්නා වූ මතවාද හා බැඳුණු හා සැඟවුණු දෙයක්. හැබැයි බනින බැනුම පසුකාලීනව ආදරයක් බවට පත්වෙන්නත් පුළුවන්.

ඉතිහාසය පුරා හැම ක්ෂේත්‍රයකම මිනිස්සු බැනුම් ඇසීම මෙන්ම ආදරය දිනාගැන්ම අප දකිනවා.

මෙහිදී වැදගත් වන්නේ, කුමන ක්ෂේත්‍රයක සිටියත්, නිවැරදි දෑ වෙනුවෙන් පෙනී සිටීමයි. දායකත්වය දීමයි. ඒ තුළින් ලැබෙන සෑහීම තමයි, ලොකුම සතුට.

චේතනාව පිරිසිදු විය යුතුයි. ඒ වෙනුවෙන් සද්භාවයෙන් කටයුතු කළ යුතුයි. එයයි වැදගත්.

advertistmentadvertistment
advertistmentadvertistment