දැරියන් පස්දෙනකුට අතවර කළ දේවගැතිවරයා ජන. 01 තෙක් රිමාන්ඩ්

499

කිරුළපන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දෙහිවල ප්‍රදේශයේ ලියාපදිංචි නොකරන ලද නේවාසිකාගාරයක දැරියන් 5 දෙනකුට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම නේවාසිකාගාරයේ දේවගැතිවරයකු ජනවාරි මස 1 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළාය.

වයස අවුරුදු 11 හා 18 වියේ පසුවන දැරියන් 5 දෙනකු එසේ අතවරයට ලක්ව ඇත. එම දැරියන් පවුල් තුනක සහෝදරියන් බවද දැන ගැනීමට තිබේ.

නේවාසිකාගාරයේ දේවගැතිවරයා තමන්ට අතවර කරන බවට එම දැරියන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනියට පවසා ඇති බවත් පසුව විදුහල්පතිනිය මේ සම්බන්ධයෙන් කිරුළපන පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිස් කණ්ඩායමක් එම නේවාසිකාගාරය වෙත ගොස් අදාළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

දේවගැතිවරයා විසින් තමන්ව අතවරයට ලක් කළ බවට දැරියන් 5 දෙනකු පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ඔහු සතු දුරකථනයේ තිබෙන අසභ්‍ය දර්ශන පෙන්වමින් එම දැරියන්ට අතවර කර ඇති බව දැරියන්ගේ ප්‍රකාශ වලින් හෙළිවූ බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

අතවරයට ලක් වූ දැරියන් සියලු දෙනා කළුබෝවිල රෝහල වෙත ඉදිරිපත් කර ඇති අතර එම දැරියන්ට අතවර කිරීම සඳහා දේව ගැතිවරයාට කිසියම් අයෙකුගේ උදව් උපකාර ලැබී තිබේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නේවාසිකාගාරය දෙහිවල දේවස්ථානයකට අනුබද්ධ එකක් බවද දැන ගැනීමට තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment