හිරෙන් ඇවිත් දින දෙකකින් අපරාධය කරලා

2204

වෛද්‍යවරියට අතවර කළ පාපතරයා කොටුවෙයි
පැහැරගෙන ගිය දුරකථනයේ සංඥා ඔස්සේ සැකකරු අත්අඩංගුවට
සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
රෝහලට ආරක්‍ෂාව මදි: අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක සිය රාජකාරී නිමවා නිල නිවසට පැමිණි අවස්ථාවේදී පිහියක් පෙන්වා බිය ගන්වා බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පලා ගොස්, සැඟව සිටි සැකකරු ගල්නෑව ප්‍රදේශයේ දී ඊයේ (11 දා) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.

හිරෙන් ඇවිත් දින දෙකකින් අපරාධය කරලා

ඇමැති නලින්ද ජයතිස්ස

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්නෑව නව නගරය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කලක් චීවරධාරියකු සිට යුද හමුදාවට බැඳී සේවය කර ඉන් පලා ආ පුද්ගලයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එම සැකකරු ගල්නෑව හෙළබදුගම ප්‍රදේශයේ කැලයක සැඟව සිටි බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු මෙම අපරාධය සිදුකිරීමට දින දෙකකට පෙර අපරාධ චෝදනාවකට අදාළව බන්ධනාගාර ගතව සිට ඇප මත පැමිණි අයකු බව ද කියා සිටින පොලිසිය, සැකකරු මෙම වෛද්‍යවරිය දූෂණය කිරීම පිටුපස තවත් පුද්ගලයින් සිටින්නේ ද යන්න පිළිබඳවත්, මෙය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් ද යන්න පිළිබඳවත් අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව ද කියා සිටියි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය තිළිණ හේවා පතිරණ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ගල්නෑව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරිය සතුව තිබූ ජංගම දුරකථන දෙකින් එකක් පැහැර ගෙන ගොස් තිබුණි. එකී පැහැර ගත් ජංගම දුරකථනයේ සංඥා ඔස්සේ සැකකරු සිටින දිසාව සොයා ගනිමින් පොලිසිය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් පැහැර ගන්නා ලද වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම ජංගම දුරකථනයට අදාළ සැකකරු අවුකන දුම්රිය ස්ථාන ආසන්නයේ සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.

මෙම සැකකරු තවත් අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා දිවයිනේ සියලු පොලිස් ස්ථානවලින් සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරුගෙන් දීර්ඝව ප්‍රශ්න කරමින් සිටින බව පවසන පොලිසිය සැකකරු අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද තවදුරටත් සඳහන් කරයි.

අදාළ සිද්ධියෙන් පසු පලාගොස් සැඟවී සිටි තිස් පස් හැවිරිදි වියෙහි පසුවන සැකකරු දිවයිනේ ලියාපදිංචි නමගිය අපරාධකරුවකු බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇත.

ගල්නෑව ප්‍රදේශයේ පාසලක හත් වැනි ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලබා ඇති සැකකරු පසුගිය යුද සමයේ එනම් 2009 වර්ෂයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 04 වැනි ගජබා රෙජිමේන්තුවට බැඳී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. යුද හමුදා සේවයෙහි නියුතුව සිටිය දී ආබාධයකට ලක්වී ඇති සැකකරු පසුව නොදන්වා යුද හමුදා සේවයෙන් ඉවත්ව දිවයිනේ විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බවට ද අනුරාධපුර පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මේ අතර මෙම සැකකරු අපරාධ චෝදනාවකට අනුරාධපුර බන්ධනාගාරගත කොට සිටියදී 2014.11.30 වැනි දින බන්ධනාගාරයෙන් පලා ගොස් ඇති අතර ඔහු දෙහිවල ප්‍රදේශයේ නිවසක් බිඳ දේපළ සොරකම් කිරීමේ චෝදනාවකට පසුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිට ඇත.

ඉන් පසු මෙම පාපතර නරුමයා 2023 වර්ෂයේ කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක දී පැවිදි දිවියට පත්ව වරෙක එහි තිබූ දේපළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබූ අයකු බව අනාවරණය කර ගෙන තිබේ. ඉන් අනතුරුව උපැවිදි වී ඇති ඔහු විවාහ දිවියට පත්ව ඇති බවත් අනාවරණය වී ඇත.

උතුරු මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන සහ උතුරුමැද දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.සී.ටී. සුගතපාල යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානි සෙනෙවිරත්න සහ උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

සැකකරු ගල්නෑවේදී අත්අඩංගුවට ගත් මෙහෙයුම ක්‍රියාත්මක වූයේ ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. ආර්. සී. මුණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධීක්ෂණ චාරිකාවක නිරත වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.

“මෙම සිදුවීම අපි බැරෑරුම් ලෙස සලකනවා. මේක එක වෛද්‍යවරියකට හෝ එක කාන්තාවකට සිදු වූ සිදු වීමක් හැටියට පමණක් නොවෙයි අපි සලකන්නේ, මෙවැනි සිදුවීම් ලංකාවේ නොවිය යුතුයි. වෘත්තීය තරාතිරම කිසිවක් නොසලකා කාන්තාවන්ට සුදුසු පරිසරයක් හදන එක තමයි අපේ ආණ්ඩුවේ කාර්ය භාරය.

දුර බැහැර ඉඳන් මෙවැනි රෝහලකට ඇවිල්ලා ප්‍රදේශයේ ජනතාවට සේවය කරමින් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙකුට මෙවැනි දෙයක් සිදුවීම ගැන අපි කනගාටු වෙනවා විතරක් නෙමෙයි, ඉදිරියේදී මේ වැනි දේවල් වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි අද මම අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණියේ. ඊට අදාළව අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සමග අපි උදෑසන සාකච්ඡාවක් කළා. අපේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් සියලු දෙනා යම්කිසි ආකාරයක භීතියකට පත්වෙලා සිටිනවා… යම් කම්පනයකට පත්වෙලා තිබෙනවා මේ සිදුවීම නිසා. ඊට අදාළ පිළියම් අපි යෙදිය යුතුයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා, නාගරික කොමසාරිස්වරයා, පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අපි සාකච්ඡා කළා. ඒ අනුව මෙම දින කීපය තුළදී අද පස්වරුවේ සිටම ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම මෙම රෝහල වටේ කාලයක් තිස්සේ පවතින අනවසර ඉදිකිරීම් ප්‍රමාණයක් තිබෙනවා. මෙම රෝහල තුළින් හොඳටම සේවාව පවත්වා ගෙන යන්න පුළුවන් වුණොත් ප්‍රතිකාර ගන්න පමණක් නොව අවට ව්‍යාපාරික කටයුතු කරන්නත්, පුළුවන් වෙන්නේ. ත්‍රීරෝද රථ ධාවනයේ යෙදෙන කාරණාවේ සිටම එය අදාළයි.

ඔබ දන්නවා මෙවැනි ප්‍රදේශයකට විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරියන් ඇතුළු කණ්ඩායම් ගෙන්වා ගැනීම එතරම් පහසු කාරණයක් නොවේ. ඇවිල්ල මෙවැනි ඉරණමකට මුහුණ දෙන්න සිදුවුණොත් මොකද වෙන්නේ.

වසර ගණනාවක් තිස්සේම දුෂ්කරතාවයන් දරා ගෙන කැපකිරීම් සිදු කරන වෛද්‍ය පිරිසක් සිටිනවා, මම දන්නවා ඔවුන්ට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් නෑ. ප්‍රවාහන පහසුකම් නැහැ. අමතර මුදලක් වියදම් වෙනවා. එවැනි දුෂ්කරතාවයන් විඳදරා ගෙන ඔවුන් මෙන්ම හෙද හෙදියන්ද අනෙකුත් කාර්ය මණ්ඩලය ද රෝහලේ සේවය කරනවා. අනුරාධපුර රෝහල ආරක්ෂා කර ගැනීමට ප්‍රදේශයේ ජනතාව නාගරික කොමසාරිස්තුමා ඇතුළු නගර සභාවේ කණ්ඩායමටත් පොලිසියටත් සහාය ලබා දෙන්න. මෙවැනි ආකාරයේ නීති විරෝධී වැඩ කරන අයට ආවරණය සපයන රැකවරණ සපයන ස්ථාන වහාම ඉවත් කර ගන්න. අනුරාධපුර ශික්ෂණ රෝහල අවට ඇති අනවශ්‍ය ඉදිකිරීම් සියල්ල ඉවත් කර ගන්න. නාගරික කොමසාරිස්තුමා මේ කටයුතු කරයි කියලා මම හිතනවා.

අපි සාකච්ඡා කරන කරුණු ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතුයි.

අපේ රටේ දැනට පවතින රෝහල් 1161 තුළ විවිධාකාර ප්‍රශ්න තිබෙනවා. එය අපේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව මතු වූ ගැටලු නෙවේ. කාලයක සිට තිබෙන ප්‍රශ්න, අපි ක්‍රමානුකූලව එකිනෙකට විසඳුම් ලබා දෙමින් යනවා.

රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පැය විසි හතරක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා. ඒකෙ මූලික ඉල්ලීමක් වෙලා තිබුණේ චූදිතයා අත්අඩංගුවට ගන්න එක. අපි දැන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම් පදනම් කරගෙන අපි රටේ රෝහල් පද්ධතියේ සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් රජය විශේෂ ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අනුගමනය කරනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පෞද්ගලික ආරක්ෂක සේවාව සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි ආණ්ඩුව භාර ගන්න කලින් ඉඳලත් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ රෝහල් පරිපාලනයටත් ඉදිරිපත් වෙලා තිබෙනවා. මටත් පේනවා ඒ ආරක්ෂක සේවාව මේ රෝහලට ප්‍රමාණවත් නෑ කියලා. ඒ සම්බන්ධයෙනුත් අපි තීන්දුවක් ගන්න සූදානම්.

මේ අතර අපරාධයට අදාළ සැකකරු වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඊයේ (12දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.

වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් පසුව අදාළ අපරාධකරු විසින් පැහැරගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනයෙන් ලබා ගෙන ඇති සහ ඊට ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පෞද්ගලික දුරකථන සමාගමක කළමනාකාරීත්වයට තවදුරටත් නියෝග කළේය.

මෙසේ නියෝග කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක සිය නිල නිවස තුළදී බරපතළ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

අනුරාධපුර පර්සි කුරුනේරු, මිහින්තලේ රංග චතූ


advertistmentadvertistment