විකිණෙන ගැහැණු වෙනුවට සම අවස්ථා ඇති ගැහැණියක්

බෙදුණු සමාජයක් වෙනුවට එක පවුලක්

ජීවිත තර්ජන ගැන අපි අවධානයෙන්..

වැඩේට බැස්සේ අවදානම ගැන නොදැන නෙවෙයි

ගැහැණුන් ලිංගික භාණ්ඩ බවට පත්වෙන එක වළක්වා ගන්න ඕනෑ. අපේ මූලික දේ එයයි. ළමයිට කන්න දෙන්න ඇඟ විකුණන එක නවත්තන්න පුළුවන් ආර්ථිකයක් හදන එක අපේ ලොකුම වගකීම.අපි මුල් තැන දෙන්නේ එයට.

ගෙදරට කෑම බීම ගේන්නේ ඔබද.. ?

ඔව්නේ..

කොහොමද බඩු මිල..

අපෝ ඒ ගැන කියලා වැඩක් නෑ..

ඒ, ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අප හා සම්මුඛ වූ අවස්ථාවේ බඩු මිල ගැන කියූ කතාවය.බඩු මිල පිළිබඳ විමසන්නට මත්තෙන් ජාතික ජනබලවේගය රට පුරා පවත්වමින් යන ‘ගැහැණු අපි එක මිටට’ රැස්වීම් මාලාව පිළිබඳ මෙන්ම තවත් දේශපාලන කරුණු පිළිබඳව අපි විමසුවෙමු.

පහතින් පෙළගැසෙන්නේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමඟ කළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයන් ඉලක්ක කර ගනිමින් ජාතික ජනබලවේගය වැඩ ගොඩක් කරගෙන යන බව පේනවා. ඒ අතරින් “ගැහැණු අපි එක මිටට” මහජන රැළි විශේෂයි. සාමාන්‍යයෙන් අප රටේ දේශපාලන පක්ෂ වැඩකටයුතු කරන්නේ පිරිමි පාර්ශ්වය ප්‍රධාන කරගෙන. ජවිපෙටත් එය එසේමයි. හැබැයි මෙවර ජාතික ජනබලවේගය කාන්තාවන්ට වැඩි බරක් ලබා දී ඇති බව පේනවා. මොකක්ද මේ වෙනස?

පිළිතුර – වැඩි බරක් නෙමෙයි, අපි කාන්තාවන්ට හරි තැන දීලා තියෙනවා. දේශපාලනය තුළ ඔවුන්ට ඇති වටිනාකම කුමක්ද යන්න හරි අවබෝධය අපට තියෙනවා. අපි ඉන්නේ දේශපාලනය තුළ කාන්තාවන් විතැන්ව නොසිටිය යුතු තැන. අප රටේ කාන්තාවන් දේශපාලනයට මීට වඩා නැඹුරු විය යුතු බව බොහෝ කාලයක සිට අප තුළ තිබූ අදහසක්. ඔවුන් දේශපාලනයට සක්‍රීයව දායක කර ගැනීම මේ හරහා සිදුවෙනවා. ඔබට පෙනෙන්න ඇති පසුගිය සමුළු කෙතරම් සාර්ථක ද යන වග. මෙම සමුළු හරහා අපගේ කාන්තා නියෝජනය රට හමුවට ගියත් මීට බොහෝ කාලයකට පෙර සිට අපි අපගේ කාන්තා නියෝජනය දිස්ත්‍රික්ක මට්ටමින්, ආසන මට්ටමින්, කොට්ඨාස මට්ටමින් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගැහැණු අපි එක මිටට ගත්තේ විශාල වැඩ කොටසක ප්‍රතිඵලයක් ලෙස.

ප්‍රශ්නය – ගැහැණු අපි එක මිටට කාන්තා සමුළු ආරම්භ කළේ පසුගිය දෙසැම්බර් මාසේ 30 වෙනිදා. ඒ ගාල්ලෙන්. එය මුළු රටම ආවරණය වන පරිදි කෙරෙන වැඩපිළිවෙළක් ද?

පිළිතුර – අපේ බලාපොරොත්තුව මුළු රටම ආවරණය කිරීම. මූලිකව දිස්ත්‍රික්ක පුළුවන් තරමක අපි මෙය පවත්වනවා . මාර්තු මැද වෙනකොට කාන්තා සමුළු ලොකු ප්‍රමාණයක් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ හරහා අපි අපගේ කාන්තා නායකත්වයන් දිස්ත්‍රික්කයට, රටට හඳුන්වා දීම අප සිදු කරනවා. කාන්තා සමුළු කියන්නේ ලොකු වැඩක එක කොටසක් පමණයි. කාන්තාවන්ට දේශපාලන අධ්‍යාපනය ලබාදීම, දැනුවත් කිරීම වැඩක් විදිහට අපි කරනවා.

ප්‍රශ්නය – ලංකාවේ වැඩිපුරම තිබෙන්නේ කාන්තා ඡන්ද. මෙතෙක් කල් දේශපාලනඥයන් හිතාගෙන හිටියේ ඔවුන්ගේ මනාපය බොහොම ලේසියෙන් ලබාගන්න පුළුවන් කියලා. මේ ඡන්ද ජාතික ජනබලවේගයට නැඹුරු කරගන්නේ කොහොමද?

පිළිතුර – එය සිදුවන්නේ අපි ලබාගත් ප්‍රවේශය තුළ ඇති වෙනසත් සමග. අපි අපේ කාන්තාවන්ට කතා කළේ ඡන්ද දායකයකුට එහා ගිය කාර්යභාරයක් ඇය සතුව තියෙන බව සහතික කරමින්. තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න මෙතෙක් කල් රට පාලනය කළ සියලු පාලකයන් මෙච්චර කාලයක් කාන්තාවන් පාවිච්චි කළා. සියයට පනස් දෙකක් වන කාන්තා ඡන්ද ප්‍රතිශතය පාලකයන් බලයට එන්න භාවිතා කළත් ඔවුන් අපේ ජීවිතවලට මොනවද කරලා තිබෙන්නේ. අපට ඡන්ද බලය තිබ්බට ඒකෙන් අපට ලැබුණු ප්‍රතිලාභ මොනවද? අපි යම් ප්‍රතිලාභයක් ලබා ගන්න නම් බලය පවරලා විතරක් මදි, අපි ඒ බලය පාවිච්චි කළ යුතුයි. දේශපාලනිකව අපි ඊට මැදිහත් විය යුතුයි. ඇත්තටම ගැහැණුන් සමාජයට කරන වැඩ කොටස ගැන හරි වටිනාකමක් දෙන්නේ නැහැ. ඔවුන් වැටුප් රහිතව කරන සුරැකුම් මූලික වශයෙන් ගැහැනුන්ගේ වගකීමක්. නමුත් ඒ වැඩවලට කිසිම වටිනාකමක් නැහැ. ඒ වටිනාකම දෙන්නයි අපට ඕන.

ප්‍රශ්නය – රට තුළ පවතින ආර්ථික ප්‍රශ්න දඩමීමා කර ගනිමින් කාන්තාවන් තමන්ට නතු කර ගැනීම සඳහා ජාතික ජනබලවේගය බොරදියේ මාළු බාන බව ඇතැම් දේශපාලනඥයන් චෝදනා කරනවා.

පිළිතුර – මොන මෝඩ කතාවක්ද ඒ. රට මේ තත්ත්වයට දැම්ම, කාන්තාවන්ට යහපත් ජීවිතයක් නැති කළ මිනිස්සු තමයි එහෙම කියන්නේ. ඒ වගේ වැඩක් ඔය විදිහට අර්ථකථනය කරන එක රටේ ගැහැනුන්ට කරන අපහාසයක්.

අපි මේ යන්නේ ඡන්ද බලාගෙන, බලය බලාගෙන යන ගමනක් නෙවෙයි. අපේ ගමන රට පරිවර්තනීය වෙනසකට අරගෙන යන ගමනක්. මේ සමාජයට අලුත් පරිච්ඡේදයක් අවශ්‍යයි. ඒ අලුත්ම පරිච්ඡේදය තුළ සමාජයේ සියලු කොටස්වලට නිසි තැනක් අවශ්‍යයි. එතැනදී රටේ ගැහැණුන් තීරණාත්මකයි. අපි මේ වැඩේට බැස්සේ ලොකු දැක්මක්, බර අදහසක් සහිතව.

තව දෙයක්, අපි කරන වැඩේ ඔය චෝදනා කරන අයට තේරෙන්නෙත් නැහැ. ඒ මිනිස්සුන්ට එහෙම දැක්මක් නැහැ. ඊට වඩා අපිට මේ ගැන ලොකු දැක්මක් තියෙනවා.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයේ කාන්තා නියෝජනය තුළ ඔබ මේ වන විට ඉහළටම නියෝජනය. ඒ තත්ත්වය තුළ කාන්තාව සම්බන්ධයෙන් ඔබට ඇති වගකීම සුවිශේෂීයි. යම් හෙයකින් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ලැබුණහොත් කාන්තාව සම්බන්ධයෙන් අනුගමනය කරන අලුත් වැඩපිළිවෙළ කුමක් ද?

අපේ ඉලක්කය ඡන්ද දිනන එක නෙවෙයි සමාජ පරිවර්තනයක්

පිළිතුර – ගැහැණු කියන කුලකය සීමාවන්වලට කොටු වෙලා. ගැහැණුකම කියන එකම දුර්වල එකක් විදියට තමයි අර්ථ දක්වන්නේ. එය වෙනස් කර සම අවස්ථා ඔවුන්ට නිර්මාණය කිරීමට අපට අවශ්‍යයි. ස්ත්‍රී පුරුෂ සංකල්ප නිසා සමාජය බෙදිලා නම් තියෙන්නේ, ඒ බෙදීම හරහා බලය, සම්පත්, වටිනාකම් සමසේ බෙදී නොයන්නේ නම් එය වෙනස් විය යුතුයි. සාධාරණත්වය සහ සමානාත්මතාවය ඔවුන්ට ලබාදීම අපේ මූලික ඉලක්කයක්. ඒ වගේම ඔවුන්ට නිසි තැන, නිසි ගෞරවය වචනවලට සීමා නොවී අපේ රජයක් යටතේ ලබා දෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් අපට ඇත්තේ පුළුල් දැක්මක් සහිත වැඩපිළිවෙළක්. එය කාන්තා දිනයකට පමණක් සීමාවන එකක් නෙවෙයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ අසමානතාවය ගොඩනඟන තවත් එක් සංකල්පයක්. ඒ තුළ ඇතිවෙන අනන්‍යතාවයන් හරහා ඒ අසාධාරණය නැති කරනවා. අපි වැඩ කරන්නේ එතන ඉඳන්. ස්ත්‍රී සුරැකුම්වලට වටිනාකමක් අප සමාජයේ නැහැ. එය සමාජ වටිනාකමක් ඇති වැඩක් ලෙස දකින්න ඕන.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බවට ඔබ බලවේගයේ සාමාජිකාවක් ප්‍රකාශ කල බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇත්තටම එය නීතිගත කරනවද ?

පිළිතුර – ගණිකා වෘත්තිය නීතිගත කරනවාද නැද්ද කියන වගේ ප්‍රශ්නයක් ඇහුවම ඒක ලඝු වන්නේ ඉතාම පටු තැනකට.

ගණිකා වෘත්තීය රැකියාවක් කියලා ප්‍රමෝට් කරන්න හෝ තහවුරු කරන්න අපට කිසි උවමනාවක් නැහැ. ඒක රැකියාවක් නෙවෙයි. ඒ තුළ ගැහැණුන්ට වන හානිය සහ භාවිතා වීමයි අපි නතර කරන්න අවශ්‍යය.

ගැහැණුන් ලිංගික භාණ්ඩ බවට පත්වෙන එක වළක්වා ගන්න ඕනා. අපේ මූලික දේ එයයි. ළමයිට කන්න දෙන්න ඇඟ විකුණන එක නවත්තන්න පුළුවන් ආර්ථිකයක් හදන එක තමයි අපේ ලොකුම වගකීම. අපි මුල් තැන දෙන්නේ එයට. රටේ තියෙන නීතිය අනුව ගණිකා වෘත්තීය නීති විරෝධී කියන එකක් නැහැ. හැබැයි ඒකත් එක්ක ඇලිලා තියෙන ස්ටිග්මා (Stigma – කැලල) එක නිසා මේ සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කරන්න බොහෝ අය මැලි වෙනවා. මේ තත්ත්වයන් යටතේ තියෙන්නේ මහා ඛේදවාචකයන්. ඇත්තටම අපි මේවට ආමන්ත්‍රණය කළ යුතු නැද්ද? මේවාට විසඳුම් සෙවිය යුතු නැද්ද?

සමාජයෙන් සැඟව සිටින හැබැයි සමාජය සූරාකන මේ අපේ සහෝදර කාන්තාවන් ගැන අපි සොයා බැලිය යුතුයි. ඔවුන්ගේ ප්‍රශ්නවලට අපි ආමන්ත්‍රණය කළ යුතුයි. අපෙන් විය යුත්තේ එයයි. අපි කරන්නෙත් එයයි.

ඔබ දන්නවද, තමන්ගේ දරුවට කෑම වේල හොයාගන්න අම්මලා තමන්ගේ ඇඟ විකුණන බවට වන වාර්තා අපිට ලැබිලා තියෙනවා. දෙයියනේ.. එහෙම වෙන්න බැහැනේ. එහෙම සමාජයක් නම් තියෙන්නෙ මේක මොකක්ද? ඒක නතර කරන එක අපෙන් විය යුතු දෙයක්. ඒක මගහරින්න අපිට කොහෙත්ම බැහැ. ඔය වෘත්තීයේ නියැලෙන ගැහැනු කෙනා දිහා සමාජය පහත් කර බලනවා. හැබැයි ඒ ගෑණු කෙනා ඒ තත්ත්වයට පත් කරපු සමාජය වෙනස් වෙන්න ඕනෙ නැද්ද? අපි මේ සියල්ල වෙනස් කළ යුතුයි.

ප්‍රශ්නය – ඒ සමාජය වෙනස් කරන්න ජාතික ජනබලවේගයට පුළුවන් වේවිද?

පිළිතුර – අපට අනිවාර්යයෙන් පුළුවන්. අපේ බලාපොරොත්තුව එයයි. අවංකවම ඒ උවමනාව තියෙන නිසා එය අපට කරන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. ජනතාව අප වටා පෙළ ගැසී තිබෙන්නේ ඒ උවමනාව වෙනුවෙන්. එය කළ හැක්කේ කාටද යන්න ඔවුන් දන්නවා. ඔවුන්ගේ බලාපොරොත්තුව අපි අනිවාර්යයෙන්ම ඉටු කරනවා.

ප්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී බලය ලබා ගැනීම ස්ථිරයි කියලද ඔබ හිතන්නේ ?

පිළිතුර – ජනතාවගේ තීරණය අරගෙන අවසන්. ඒක අපට හොඳින් දැනෙනවා. හැබැයි ඊට එහා ගිය උවමනාවක් අපට තිබෙනවා. අපට තියෙන්නේ ආණ්ඩුවක් හදන එකේ වුවමනාව පමණක් නෙවෙයි. අපට ඕනා මේ සමාජය පරිවර්තනය කරන්න. ඒක නිසා අපට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. ඒක මැතිවරණ ජයග්‍රහණයක් පමණක් නෙවෙයි. ඒ වෙනුවෙන් සමාජය පෙළගස්වන එක තමයි අපේ කාර්යභාරය. ඡන්දය තියෙනවා අපි ඡන්දය දිනනවා පමණක් වගේ එකක් අපට නැහැ.

අපි අත තියල තියෙන්නේ එහෙම සරල වැඩකට නෙවෙයි.

වැඩ කරන්න අපිට ආණ්ඩුවක් ඕනා. හැබැයි ඒ ආණ්ඩුවෙන් මොකක්ද අපි කරන්න යන්නේ කියන එක හරි වැදගත්. ආණ්ඩුවක් ඕනේ මේ තියෙන එක මෙහෙම අරගෙන යන්න නෙවෙයි. අලුත් ආරම්භයක්, අලුත් පුනරුදයක් වෙනුවෙන් අපි මේක දේ කරන්නේ. ඒ වෙනුවෙන් මිනිස්සු සූදානම් කරන එක මේ වෙලාවේ අපේ කාර්යභාරය. බලය ලබාගන්න මැතිවරණ දිනන්න ඕන නිසා බලය ලබාගන්න ඕන. හැබැයි මැතිවරණ දිනන එක නෙමෙයි අපේ ඉලක්කය. ඊට එහා ගිය පුළුල්ම සමාජ පරිවර්තනයක් වෙනුවෙන් අපි වැඩ කරන්නේ.

2024 කියන්නේ අපේ වසර. අපේ කතාව ලියන වසර. එක පැලැන්තියක් විසින් පාලනය කරපු ඉතිහාසය අවසන් කර අපේ කතාව අපි ලියන්න පටන් ගන්නවා.

අපි හැමෝටම කතාවක් තියෙනවා.

මගෙන් ප්‍රශ්න අහන ඔබටද, මේක කියවන ඔබටද කියන්න කතාවක් තියෙනවා. ඒ කතාවට තැනක් දෙන ඔබේ අත්දැකීමට වටිනාකමක් දෙන බරපතළ පරිවර්තනයක් වෙනුවෙන් අපි කැපවෙනවා.

ප්‍රශ්නය – “ජාතික ජනබලවේගය දැන් දිනල ඉවරයි. ඔවුන් කතාබහ කරන්නේ ඒ වගේ.” ඔය වගේ චෝදනා ඇතැම් අය කරනවා. ඇත්තටම ජාතික ජනබලවේගය ජයග්‍රහණය පිළිබඳ අධි තක්සේරුවක නේද ඉන්නේ ?

පිළිතුර – කිසිසේත්ම නැහැ. මැතිවරණයක් දිනන එක විතරක් අපේ ඉලක්කය වුණානම් ඔහොම කියන්න තිබුණා. මම මීට පෙර කිව්වා වගේ අපට තිබෙන්නේ ඊට එහා ඉලක්කයක්. අප හමුවේ ඇති අභියෝගයන් ගැන අපට හොඳ තක්සේරුවක් තිබෙනවා. විරුද්ධ පාර්ශ්වයන් අපේ මේ ගමන නවත්වන්න ගන්න උත්සාහයන් ගැනත් අපිට හොඳ තක්සේරුවක් තිබෙනවා. පවතින ක්‍රමය තුළ ලොකු ප්‍රතිලාභ ලබන සුළු පිරිසක් ඉන්නවා. ඔවුන් මේක නතර කරන්න විශාල උත්සාහයක් ගන්නවා. මේ කාලය තුළ ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන එක, බලය පාවිච්චි කරන එක, නීතිය අවභාවිතා කරන එක ඇතුළු කළ හැකි සියලු දේ කරාවි. එනිසා මේ ගැන අවතක්සේරුවක හෝ අධිතක්සේරුවක හිටියොත් මේ අභියෝගයන්ට මුහුණ දෙන්න බැහැ. ජනතාව මේ ක්‍රියාවලියත් එක්ක එක් වුවහොත් ඊට අපිට මුහුණ දෙන්න පුළුවන්. උත්තරේ තියෙන්නේ එතන විතරයි. මොන බාධක කම්කටොලු ආවත් පොඩි කණ්ඩායමකට අපි කරන්න හදන සමාජ පරිවර්තනය නතර කරන්න බැහැ. හොරුන්ගෙන් රට නිදහස් කර පුරවැසියන්ගේ යුගයක් ඇති කිරීම ඒකායන බලාපොරොත්තුවයි. ඒක අනිවාර්යෙන්ම අපි කරනවා. ජනතාව තේරුම් ගන්න. මේ එන්නේ ඔබලාගේ යුගය.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයේ නායකත්වය විනාශ කිරීම සඳහා ඝාතන සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් විදෙස් රටක සිට ක්‍රියාත්මක කරන බව එහි වැඩිදුරටත් සඳහන්. මේ වාර්තාවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ අපි දන්නේ නැහැ. ඇත්තටම එවැනි තොරතුරක් ඔබට ලැබී තිබෙනවාද ?

පිළිතුර – ඔබ ඔය කියන කාරණය මටත් කිහිප දෙනෙක්ම දැනුම් දුන්නා. ආරක්ෂාව ගැන හිතන්න කියලා බොහෝ අය කියනවා. ලෝක ඉතිහාසයේ සිදුවීම් ගැන දන්න ඕනෑම කෙනෙක් දැන් තියෙන අවදානම ගැන දන්නවා. මේ වගේ සමාජ පරිවර්තන සිදුවන විට දැඩි ජීවිත තර්ජන එල්ල වෙනවා. අපි මේ වැඩේට අත ගැහුවේ ඒ අවදානම ගැන නොදැන නෙවෙයි. පවතින අවදානම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග අපි අරගෙන තිබෙන්නේ. මොන අවදානම තිබ්බත් මෙය හකුළා ගන්න බැහැ. අවදානමට අපි මුහුණ දෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත්වීම තමයි ඉතා වැදගත්.

මෙතැනදී තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනා. මේ වන විට ජනතාව සහ අපි අතර දැඩි විශ්වාසයක් ඇතිවෙමින් තිබෙනවා. පාලකයන්ට අවශ්‍යයි මේ විශ්වාසය බිඳින්න. මේක විනාශ කරන්න ඔය අය ගොඩක්ම මැදිහත් වෙනවා. අපි ගැන කියන බොරු මඩ ව්‍යාපාර එහි එක් කොටසක්. අපෙන් පිට වෙන පොඩි වචනයක් අල්ලා ගෙන එය උලුප්පගෙන ඒකට කතාවක් හදන්නේ ඔය වැඩේට. හැබැයි දැන් රටේ ජනතාව ඔය මඩවලට රැවටෙන්නේ නැහැ.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය ආණ්ඩු බලය ගත්තොත් මැති ඇමැතිකම් කරන්නවත් පලපුරුද්දක් ඇති මිනිස්සු නැහැ කියලා ඇතැම් අය චෝදනා කරනවා.

පිළිතුර – ඔය කාගාවත් නැති හරි මිනිස්සු අපි ගාව ඉන්නවා. ඇමැතිකම් දරපු අතීතයකින් විතරක් රටක් දියුණු කරන්න ප්‍රමාණවත්ද. එහෙම වුණානම් අද මේ රට සුරපුරයක් වෙන්න ඕනා. මොකද මෙච්චර කාලයක් ඇමැතිකම් දැරුවේ එකම කට්ටියක් නේ. රට අලුත් පරිවර්තනයක් කරා ගෙනියන්න නම් පවතින ක්‍රමය තුළ ලබාගෙන ඇති ඇමැති අත්දැකීම් ප්‍රමාණවත් වන්නේ නැහැ. නව සමාජ පරිවර්තනය කරන්න දැනුම ඕනා. අවංක බව, කැපවීම ඕන. ඒ වගේම තමන්ගේ ක්ෂේත්‍රයේ නිපුණත්වය තියෙන්න ඕන. මේ ඉන්න අයගෙන් ඔය වෙනස කරන්න පුළුවන්ද. අපි කරන්න හදන සමාජ පරිවර්තනයට ඕන සුදුසුකම් තියෙන මිනිස්සු අපි ගාව ඉන්නවා. අපේ අලුත් ආණ්ඩුව හදනකොට ඔය කවුද කියලා බලාගන්න පුළුවන්.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයක් ද ?

පිළිතුර – ඔය දෙකෙන් ඕනම මැතිවරණයකට අපි සූදානම්. අපි හිතන් ඉන්නේ පළමු වෙන්නේ ජනාධිපතිවරණයක් කියලා. ව්‍යවස්ථානුකූලවත් එන්න තියෙන්නේ ජනාධිපතිවරණයක්. ඒ වගේම එන ලකුණු පෙන්නන්නෙත් ජනාධිපතිවරණයක්. හැබැයි මහ මැතිවරණයක් එන්නත් පුළුවන්. කුමක් ආවත් අපි සූදානම්. ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. මිනිසුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් අවස්ථාවක් තමයි අපට ඕන.

ප්‍රශ්නය – ඔබගේ බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කියන එක දැන් ස්ථිරයි. පාර්ලිමේන්තු මැතිවරණකදී අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන්න නිශ්චිත අදහසක් තිබෙනවාද ?

පිළිතුර – නැහැ. එහෙම නිශ්චිත අදහසක් නැහැ. පාර්ලිමේන්තුව තුළ අපට ඕන සියලු ජන කොටස් සංයෝජනය වන පාර්ලිමේන්තුවක්. අපට ලැබෙන පාර්ලිමේන්තු ආසන ගණනින් එළයේ සමාජය නිසි ලෙස නියෝජනය විය යුතුයි. වැඩි කාන්තා නියෝජනයක්, සියලු ආගම්, ජාති නියෝජනයක් ඒ තුළ අවශ්‍යයි. ඇත්තටම සමාජය තුළ තිබෙන විවිධත්වය පාර්ලිමේන්තු නියෝජනය තුළ තිබෙන්න ඕන. එහි සුදුසුම කෙනා අගමැති ධුරය සඳහා ගෙනයාවි.

ප්‍රශ්නය – ඔබ පාර්ලිමේන්තු නියෝජනය තුළ සියලු දෙනා නියෝජනය විය යුතු බව මීට පෙර සඳහන් කළා. හැබැයි ගැටලුව තිබෙන්නේ රට තුළ ඇති ජන කොටස්වල වැඩි ඡන්ද ප්‍රමාණයක් ජාතික ජනබලවේගයට ලබාගත හැකිද යන්නයි. උදාහරණයක් විදිහට උතුරු නැගෙනහිර ඡන්ද, කඳුකරේ ඡන්ද ජාතික ජනබලවේගයට බොහොම ඈතයි නේද?

පිළිතුර – ඇතැම් තැන්වලට සාපේක්ෂව ඔබ ඔය කියන තැන්වල ඡන්ද අපට අඩු වෙන්න පුළුවන්. අපි කරන්නේ මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන කරන දේශපාලනයක්. රනිල් මහින්ද ඩීල් වගේ දේශපාලන ඩීල් අපි ගාව නැහැ. අපි උතුරු නැගෙනහිර ගිහින් කියන්නේ නැහැ අපට ඡන්දය දෙන්න අපි ඕගොල්ලන්ට මේවා දෙනවා කියලා. අපට අවශ්‍ය අපි යන ගමනට ඒ ක්ෂේත්‍රවල ප්‍රජාව හවුල් කර ගැනීමයි. ඒක පුළුල් මහජන සාකච්ඡාවක්.

ප්‍රශ්නය – දේශපාලන මාතෘකාවලින් එහා ගිය ප්‍රශ්නයක් අහන්න කැමතියි.

පිළිතුර – ඕන දෙයක් අහන්න.

ප්‍රශ්නය – ගෙදර උයන්න පිහන්නෙ ඔබමද ?

පිළිතුර – ඔව්නේ..

ප්‍රශ්නය – ගෙදරට අවශ්‍යය බඩුමුට්ටු ගන්න කඩපිලට යන්නෙත් ඔබමද?

පිළිතුර – කඩේ බඩු ගන්න යන්නේ මම.

ප්‍රශ්නය – බඩු මිල ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර – කියලා වැඩක් නෑ ඉතින්. බඩු ගන්න පුදුම සටනක් දෙන්න වෙලා. තවදුරටත් අපි කැමති දේවල් ගෙදරට ගේන්නේ නැහැ. බඩු බලලා පුළුවන් දේ තමයි ගේන්නේ. ඉස්සර කඩේ ගියහම ආස දේවල් ගන්නවා. දැන් එහෙම පුළුවන්කමක් නැහැ. ඇත්තටම අමාරුයි. බිල් ටික ගෙවල අවසන් වුණහම ඉතුරු වෙන්නේ කීයද. පුළුවන් විදියට කරනවා මිසක් කැමති විදිහට නෙවෙයි දැන් ජීවත් වෙන්නේ.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment