1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු අතර 2024 පෙබරවාරි 4 වැනි දිනට වසර 76ක් සපිරෙයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් ශ්‍රී ලංකාවට ලැබුණු එම නිදහස ඩොමිනියන් තත්ත්වයේ නිදහසකි. ඊට හේතුව එම නිදහසේ ප්‍රධාන අඩුපාඩුකම් කීපයක් තිබීමය. ඉන් වැදගත්ම හා ප්‍රධානම අඩුපාඩුව වන්නේ අපට නිදහස ලැබුණත් මේ රටේ නායකත්වය මහා බ්‍රිතාන්‍යයට හිමි වීමය. ඒ අනුව නිදහස ලැබුණු පසුව ද බ්‍රිතාන්‍යයේ 6 වන ජෝර්ජ් මහ රජතුමාත් ඊටත් පසුව 1952 සිට දෙවන එළිසබෙත් රැජිනත් ශ්‍රී ලංකාවේ නායත්වය දැරූහ. ඔවුන් එංගලන්තයේ පදිංචි වී සිටීම නිසා ඒ අය වෙනුවෙන් නියෝජිතවරුන් 4 දෙනෙක් පෙනී සිටියහ. එකී අය හඳුන්වනු ලැබුයේ “අග්‍රාණ්ඩුකරවරු” යන නමින්ය. එම අග්‍රාණ්ඩුකාරවරුන්ගේ සේවය නිමවූයේ 1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම ස්වෛරීභාවය ස්වාධීනත්වය හා නිදහස ලැබීමෙන් පසුවය. එම නිදහස හඳුන්වන්නේ ජනරජ නිදහස වශයෙන්ය.

මා මේ ලිපියෙන් අදහස් කරන්නේ ජනරජ නිදහස ලැබීමට පෙර මේ රටේ බ්‍රිතාන්‍ය නායකත්වය යටතේ පත්වූ නියෝජිතවරු 4දෙනා ගැන විස්තර ඉදිරිපත් කර දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නා සිසු පරපුර දැනුවත් කිරීමටය. 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස ලැබීමට පෙර ආණ්ඩුකාර නමින් ද නිදහස ලැබීමෙන් පසුව අග්‍රාණ්ඩුකාර නමින් ද පත්වී සිටියේ සර් හෙන්රි මන්ක් මේසන් මුවර් නම් ඉංග්‍රීසි ජාතිකයා ය. මේ නිසා ඔහු වැදගත් වන්නේ 1948 නිදහස ලැබීමට පෙර සිටි අවසාන ආණඩුකාරවරයා වශයෙන් සහ නිදහස ලැබුණු පසු සිටි පළමු අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන්ය.

1947 පාර්ලිමේන්තු මැතිවරණය අනුව එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ආසන 42කි. එම ප්‍රමාණය ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවීය. ඒ අතර ස්වාධීන මන්ත්‍රීවරු 21 ක් තේරී පත්වූහ. මේ අතර වාමාංශික පක්ෂ තුනටත්, ලංකා ඉන්දියානු සංගමයටත් සෑහෙන ආසන ගණනක් හිමි වී තිබිණි. ඒ නිසා ම කුරුණෑගල ආසනය දිනූ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා තැත්කළේ එ. ජා. පක්ෂයට අයත් දිවංගත අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නායකත්වය දරන සිංහල මහ සභාවේ මන්ත්‍රීන් සම්බන්ධ කරගෙන වමට බර රජයක් පිහිටු වීමටය. මේ සම්බන්ධව නිශ්ශංක මහතාගේ නිවස වන යමුනා නිවසේ සාකච්ඡාවක් පැවැත්වුණි. හඳුන්වන්නේ යමුනා සාකච්ඡාව වශයෙනි. තීක්ෂණ ඥානයක් ඇති ඩී. ඇස්. සේනානායක මහාතා බණ්ඩාරනායක මහතා නිහඬ කර යමුනා සාකච්ඡාව අසාර්ථක කරවීමට කටයුතු කළේය. ඒ සමගම ආණ්ඩුකාර හෙන්රි මන්ක් මේසන් මුවර් මහතාට ද අවශ්‍ය වූයේ ඩී. ඇස්. සේනානායක මහාත අගමැති ධුරයට පත් කිරීමටය. ඒ අනුව එ. ජා. පක්ෂයට සංඛ්‍යාව අතින් වැඩි ආසන ගණනක් තිබුණු නිසා හෙන්රි මන්ක් මේසන් මුවර් ආණ්ඩුකාරතුමා විසින් එ. ජා. ප. නායක ඩී. ඇස්. සේනානායක මහතාට ආණ්ඩුවක් පිහිටු වීමට ආරාධනය කරන ලදී. ඒ නිසා ම 1947 සැප්තැම්බර් 26 වැනිදා ඩී. ඇස්. සේනානායක මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අතර එ. ජා. ප. රජයක් ඇති විය. ඒ සමගම ඩී. ඇස්. සේනානායක මහතා ස්වාධීන මන්ත්‍රීන් කීපදෙනෙකුගේ ද සුළු පක්ෂ කීපයක ද සහයෝගය ගෙන ආණ්ඩුව ශක්තිමත් කර ගත්තේය.

මේ අතර 1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලැබුණු අතර රටේ නායකත්වය හිමිවූයේ එංගලන්තයේ 6 වන ජෝර්ජ් මහ රජතුමාට ය. ඔහුගේ නියෝජිතයා වූයේ අග්‍රාණ්ඩුකාර නමින් පත්වුණු හෙන්රි මන්ක් මේසන් මුවර් මහතාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ අංශ තුනේම බලතල රාශියක් අග්‍රාණ්ඩුකාරතුමාට හිමි විය. 1948 නිදහස ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය නායකත්වය යටතේ පත්වූ පළමු නියෝජිතයා හෙවත් අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ හෙන්රි මන්ක් මේසන් මුවර් මහතා 1949 මැද භාගය වනතුරු තම තනතුර දැරීය.

ඒ මහතා ඉන්පසුව තම සේවයෙන් විශ්‍රාම ලැබීය. ඉන්පසුව එංගලන්තයේ 6 වන ජෝර්ජ් මහ රජතුමා විසින් පත් කිරීමට යෙදුණු බ්‍රිතාන්‍ය නායකත්වයේ දෙවන නියෝජිතයා හෙවත් දෙවන අග්‍රාණ්ඩුකාරවරයා වූයේ සෝල්බරි සාමිවරයා ය. ඔහු සෝල්බර් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කර පසුව එංගලන්තයට ගියේය. නමුත් පසුව ලංකාවට පැමිණ අග්‍රාණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගත්තේය. සෝල්බරි සාමිවරයා අගමැති ලෙස සිටි ඩී. ඇස්. සේනානායක මහතාට ඉතා ලැදිව කටයුතු කළේය. මේ අතර සේනානායක මහතා තමාගෙන් පසු හිස් වන අගමැති ධුරය තම පුත්‍රයා වන ඩඩ්ලි සේනානායක මහතාට ලබාදෙන ලෙස සෝල්බරිසාමි වරයාගෙන් ඉල්ලා තිබූ බවට රාවයක් තිබිණි. 1952 මාර්තු 21 දින ඩී. ඇස්. සේනානායක මහතා තම අශ්වයා පිටින් වැටීම නිසා 1952 මාර්තු 22 වැනිදා අභාවප්‍රාප්ත විය. ඒ වනවිට අග්‍රාණ්ඩුකාරව සිටි සෝල්බරිසාමි විදේශගතව සිටි නිසා එම ධුරයේ වැඩ බැලී කළේ අග්‍රවිනිශ්චයකාරව සිටි සර් ඇලන් රෝස් මහතාය. ඔහු අගමැති ධුය පිරවීමට කටයුතු කළේ නැත. සෝල්බරිසාමි මාර්තු 26 වැනිදා ලංකාවට පැමිණ ඩඩ්ලි සේනානායක මහතාට අග්‍රමාත්‍ය ධුරය ලබා දුන්නේය. මේ නිසා සභානායකව සිටි සර් ජෝන් කොතලාවල මහතා සෝල්බරිසාමි කෙරහි විරසක විය. මේ සම්බන්ධව දේශපාලන ක්‍ෂේත්‍රවල ද කතාබහ ඇති විය. අගමැති ධුරයේ පුරප්පාඩුව වූ විට සභානායකවරයා පත් කිරීම සම්ප්‍රදායක් මිස නීතියක් නොවීය. මහා බ්‍රිතාන්‍යයේ ද පාර්ලිමේන්තු සභානායක ලෙස ආර්. ඒ. බට්ලර් මහතා සිටිය දී ඇන්තනි ඊචන් හා පසුව හැරල්ඩ් මැක්මිලන් යන අය අගමැති ධුරවලට පත්වූහ. කෙසේ වෙතත් සෝල්බරිසාමි අග්‍රාණ්ඩුකාරතුමාගේ තේරීම නිවැරදි බව ඉන්පසු ඇති වූ මැතිවරණයෙන් තහවුරු වන බව දේශපාලන විද්‍යාව පිළිබඳ විශාරද ඒ. ජේ. විල්සන් මහතා ලියූ දේශපාලන විද්‍යාව නම් පොතෙන් පෙන්නුම් කෙරේ. 1952 මැයි මස පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අග්‍රමාත්‍ය ලෙස සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයටක් ලබාගැනීම ඊට හේතුවයි.

1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණත් රටේ නායකත්වයට පත්වූ බ්‍රිතාන්‍යයේ නියෝජිතවරු හතර දෙනෙක්

මේ අතර 1952 වර්ෂයේ මහා බ්‍රිතාන්‍යයේ ද වෙනසක් ඇති විය. එනම් බ්‍රිතාන්‍ය රජතුමා වශයෙන් සිටි 6 වන ජෝර්ජ් රජතුමා කළුරිය කර තිබූ නිසා එතුමාගේ දියණිය වන 2 වන එළිසබෙත් කුමරිය රජකමට පත් වී සිටීමය.

1953 වර්ෂය ද ලංකාවේ දේශපාලන ඉතිහාසයට ඉතා වැදගත්ය. 1953 වර්ෂයේ දී එ. ජා. පක්ෂය රජය විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිසා ජනතාව ආර්ථික පීඩනයකට ලක් කරන ලදී. ඒ නිසා 1953 අගෝස්තු 12 වැනිදා හර්තාලයක් ඇති වී 9 දෙනෙක් පමණ වෙඩි ප්‍රහාරවලින් මිය ගියහ. මේ නිසා ම ශෝකයට පත්වුණු අගමැති ලෙස සිටි ඩඩ්ලි සේනානායක මහතා 1953 ඔක්තෝබර් 12 වැනිදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්පසුව අග්‍රාණ්ඩුකා ලෙස සිටි සෝල්බරිසාමි විසින් අකමැත්ත සිතෙහි තබාගෙන සභානායක ලෙස සිටි සර් ජෝන් කොතලාවල මහතා නව අග්‍රාමාත්‍ය ලෙස පත් කරන ලදී. සෝල්බරිසාමි මෙම පත්වීම හඳුන්වා ඇත්තේ තමාගේ බෙල්ල කැපීමට කොතලාවලට ලයිසන් දීමක් ලෙසය.

කෙසේ වෙතත් සෝල්බරිසාමිගේ නිල කාලසීමාව තිබුණේ 1954 ජූලි මාසය දක්වා පමණි. සර් ජෝන් කොතලාවල මහතාට උවමනා වී තිබුණේ සෝල්බරිසාමිට නැවත අග්‍රාණ්ඩුකාර ධුරය නොදීමටය. මේ අතර උඩරට වෙනුවෙන් උඩරට නායකයකු වූ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ගම්පොළ මන්ත්‍රී ධුරය හා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සර්. ටී. බී. පානබොක්කේ මහතා ද අග්‍රාණ්ඩුකාර ධුරයට යෝජනා වී තිබිණ. ඩඩ්ලි සේනානායක මහතා අගමැති වී සිටියේ නම් සමහරවිට පානබොක්කේ මහතා එසේ පත් වීමට ඉඩ තිබිණි. ඊට හේතුව ඩඩ්ලි සේනානායක මහතාගේ මව ද උඩරට වලව් පෙළපතකට අයත් වීමය. නමුත් 1954 අප්‍රේල් මස බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජින ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඊළඟ අග්‍රාණ්ඩුකාර ධුරය සඳහා අගමැති සර් ජෝන් කොතලාවල මහතා විසින් සර් ඔලිවර් ගුණතිලක මහතාගේ නම ප්‍රකාශ කරන ලදී.

සර් ඔලිවර් ගුණතිලක මහතා ඩොනමෝර් යුගයේ මුදල් ලේකම් වශයෙන් ද ඩී. ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක හා සර් ජෝන් කොතලාවල යන අයගේ ආණ්ඩු තුළ ඇමැතිවරයකු ලෙසින් ද ඊට අමතරව එංගලන්තයේ තානාපතිවරයා ලෙසින් ද කටයුතු කර ඇති මහජන සේවාවන්හි අත්දැකීම් ලත් අයෙකු විය. සෝල්බරිසාමි විශ්‍රාම යනවිට සර් ඔලිවර් ගුණතිලක මහතා කොතලාවල ආණ්ඩුවේ සෙනෙට් සභා මන්ත්‍රී ධුරයක් දැරූ මුදල් ඇමැතිවරයා විය. 1954 ජූලි මස බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජින විසින් සර් ඔලිවර් ගුණතිලක මහතා ශ්‍රී ලංකාවේ නව අග්‍රාණ්ඩුකාර ලෙස පත් කරන ලදී. ඒ නිසා ම ගුණතිලක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් අස් වී අග්‍රාණ්ඩුකාර ධුරය භාර ගැනීමට යෙදුණි. මේ අනුව 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ නායකත්වයෙන් පත් කළ තුන්වන නියෝජිතයා වූයේ සර් ඔලිවර් ගුණතිලක මහතාය.

මහා බ්‍රිතාන්‍යයෙන් පත් කළ මෙම තුන්වන නියෝජිතයාගේ ශක්තිය හා බලය දක්නට ලැබුණේ 1958 වර්ෂයේ ජාතිවාදී කෝලාහල සමයේදීය. 1958 මැයි 27 වැනිදා පෙර සිට ම මේ රටේ සාමය හා නීතිගරුක භාවය කැඩී සිංහල හා දෙමළ ජාතීන් දෙක අතර ඝාතන සිදුවීම් ඇති විය.

ඒ නිසා 1958 මැයි 27 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පරිදි හදිසි තත්ත්වය පනවා එංගලන්තයේ දෙවන එළිසබෙත් රැජිනගේ නියෝජිත අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා ලංකාවේ සියලුම සන්නද්ධ නායකයා පමණක් නොව ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ තීරණ ගන්නා එකම පුද්ගලයා බවට පත් විය. මේ අනුව හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවා 1958 මැයි 27 වැනිදා සිට සර් ඔලිවර් ගුණතිලක මහතා ශ්‍රී ලංකාවේ සර්ව බලධාරියා මෙන් රට පාලනය කළේය.

මේ තත්ත්වය 1959 මාර්තු 13 වැනිදා දක්වා තිබිණි. ඒ අතර අග්‍රාණ්ඩුකාරතුමා ජාතිවාදී පක්ෂ ලෙස නම් කර තිබූ ෆෙඩරල් පක්ෂය හා ජාතික විමුක්ති පෙරමුණ ජුනි 7 වැනිදා තහනම් කළේය. ෆෙඩරල් පක්ෂයේ නායකයන් වූ ඇස්. ජේ. වී. චෙල්වනායගම් හා ඊ. ඇම්. වී. නාගනාදන් ඇතුළු පිරිසක් ද, ජා. වි. පෙරමුණේ නායක කේ. ඇම්. පී. රාජරත්න මහතා ද නිවාස සිර අඩස්සියේ තැබීමට පියවර ගත්තේය. මේ නිසම සර් ඔලිවර ගුණතිලක මහතාගේ කැපවීම නිසා ජාතිවාදී ගැටුම සමථයකට පත්වී ලක් ඉතිහාසයට ඇති වීමට තිබූ මහා අනතුරකින් රට බේරා ගැනීමට හැකි විය.

සර් ඔලිවර් ගුණතිලක මහතාගේ සේවා කාලය නිම වීමට තිබුණේ 1959 ජූලි මාසයේ දීය. නමුත් ඔහුගේ දක්ෂතාවය තේරුම් කරගත් අගමැති වශයෙන් සිටි බණ්ඩාරනායක මහතා අග්‍රාණ්ඩුකාර ධුරයේ සේවා කාලය තවත් අවුරුදු 5 කට දික් කිරීමට කටයුතු කළේය.

1962 වර්ෂය වනවට මේ රට පාලනය කළේ එකල ශ්‍රී ල. නි. පක්ෂයේ නායිකාව ලෙස සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එතුමිට භයානක තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය. එනම් 1962 ජනවාරි 27 වැනිදා යුද හමුදාවේ, නාවික හමුදාවේ හා පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් එක් වී බණ්ඩාරනායක මැතිනිය බලයෙන් පහකර ආණ්ඩු බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් සිදු වීමය. නමුත් එකල අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි පී. ද ඇස්. කුලරත්න මහතා මේ බව දැනගෙන රජයට දැනුම් දීම නිසා වහාම ක්‍රියාත්මක වූ රජය කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග ඇති වීමට තිබුණු භයානක තත්ත්වයෙන් ගැලවීමට හැකි විය.

මෙම කුමන්ත්‍රණය පිළිබඳව අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක නාමය ද කිය වී ඇති බවට ප්‍රචාරය වුණි. එහෙත් එංගලන්තයේ මහ රැජින විසින් පත් කරනු ලැබ සිටි නියෝජිතයාගෙන් ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් හෝ බලයක් නොවීය. ඒ නිසා කළ යුතුව තිබුණේ අග්‍රාණ්ඩුකාරවරයා ඉවත් කිරීමය. ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමය. ඒ අනුව අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තීරණය කළේ එකල ඇමරිකාවේ තානාපති ධුරය දැරූ තමාගේ මාමා කෙනෙකු වන විලියම් ගොපල්ලව මහතා පත් කර ගැනීමටය. ඒ අනුව සර් ඔලිවර් ගුණතිලක මහතා අග්‍රාණ්ඩුකාර ධුරයෙන් ඉවත් කර විලියම් ගොපල්ල මහතා එම ධුරයට පත් කිරීම සඳහා ලියුමක් එළිසබෙත් රැජිනට යැවීමට තීරණය විය.

1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණත් රටේ නායකත්වයට පත්වූ බ්‍රිතාන්‍යයේ නියෝජිතවරු හතර දෙනෙක්

එම ලියුම රැගෙන යෑමට තෝරා ගත්තෙ එකල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ලේකම් ධුරය දැරූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ය. එම ලියුම රැගෙන බැකිංහැම් මාලිගාවේ එළිසබෙත් රැජින හමුවීමට ගිය විස්තරය සුප්‍රකට පත්‍ර කලාවේදී ගුණදාස ලියනගේ සූරින් ලියූ අගමැතිවරුන් හත්දෙනකු සමග නම් ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් කර ඇත. මේ අනුව විලියම් ගොපල්ව මහතා බ්‍රිතාන්‍යය එළිසබෙත් රැජිනගේ නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කළ නිවේදනය 1962 පෙබරවාරි 26 වැනිදා ගුවන්විදුලියෙන් ප්‍රචාරය විය. මේ අනුව මහා බ්‍රිතාන්‍යයේ නායකත්වයෙන් පත්වූ සිවු වන නියෝජිතයා වූයේ විලියම් ගොපල්ලව මහතාය.

ඒ මහතා ඓතිහාසික මාතලේ පුරවරයේ උපත ලබා නීතිඥවරයකු වී මහනුවර හා කොළඹ නාගරික කොමසාරිස්වරයා ලෙස සේවය කර පසුව විශ්‍රාම ලැබීමෙන් අනතුරුව චීනයේ හා ඇමරිකාවේ තානාපති සේවයේ යෙදුණි. ඒ මහතාගේ සේවය අගය කළ යුත්තේ 1965 මාර්තු මැතිවරණයෙන් පසුව ගත් තීරණය නිසාය. එම මැතිවරණයේ ප්‍රතිඵලය අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පක්ෂයට එනම් ශ්‍රී ල. නි. පක්ෂයට ආසන 41ක් ද, ල. ස. ස. පක්සයට ආසන 10ක් ද ලංකා කොමියුනිස්ට් පක්ෂයට ආසන 4ක් ලැබී තිබිණ. ඒ අනුව තුන් හවුලටම ලැබී තිබුණේ ආසන 55ක් පමණි. නමුත් හවුලක් නැතිව එක්සත් ජාතික පක්ෂයට පමණක් ආසන 66ක් හිමි වී තිබිණ. එම පක්ෂයට සහාය දෙන තවත් පක්ෂ කීපයක් තිබිණ. ඒ අනුව එ. ජා. ප. නායක ඩඩ්ලි සේනානායක මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබිණ.

නමුත් බණ්ඩාරනායක මැතිනිය වමේ පක්ෂවල හා ශ්‍රී ල. නි. පක්ෂයේ සමහර අයගේ උපදෙස් පිට අගමැති ධුරයෙන් අස් නොවී සිටියාය. ඒ අයගෙන් උපදෙස් ලැබුණේ ඒකාධිපති රජයක් පිහිටු වීමටය. මේ අනුව මැතිවරණය අවසාන වී දින 3ක් යනතුරු ඇය අස්වූයේ නැත. ඒ නිසා ම ඒ අවස්ථාවේදී අපක්ෂපාතිව කටයුතු කළේ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාය. ඔහු බණ්ඩාරනායක මැතිනියට කතාකොට අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගෙන ඉල්ලා අස්වන ලෙස දන්වා තිබිණි. ඒ අනුව බණ්ඩාරනායක මැතිනිය 1965 මාර්තු 25 දින අගමැති ධුරයෙන් අස්වීමත් සමග අග්‍රාණ්ඩුකාරතුමා එ. ජා. ප. නායක ඩඩ්ලි සේනානායක මහතාට රජයක් පිහිටුවීම සඳහා ආරාධනා කළේය. ඒ අනුව එ. ජා. පක්ෂය ප්‍රමුඛ පක්ෂ කීපයක් ඇතිව රජයක් ඇතිව ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයට පත් විය. රටත්, ජනතාවත් බණ්ඩාරනායක මැතිනියත් ඒකාධිපති වියවරුවෙන් බේරා ගැනීම සඳහා ගොපල්ව මහතා කළ ක්‍රියාවට මේ රටින් පමණක් නොව පිටරටවලින් ද පැසසුම් පණිවුඩ ගලා ආවේය.

අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය 1967 පෙබරවාරි මස අග වනවිට අවසන් වීමට නියමිතව තිබිණ. පුරප්පාඩුවට නම් කීපයක් සඳහන් වුණි. එනම් හිටපු අග්‍ර විනිශ්චයකාර හේම බස්නායක මහතා සෙනෙට් සභාවේ සභාපති ලෙස සිටි ඒ. රත්නායක මහතා හා අධිකරණ අමාත්‍ය වූ. ඒ. ඇස්. විජේමාන්න මහතා යන අයයි. ඊට අමතරව හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතාගේ නමත් සඳහන් වුණි. 1965 මැතිවරණයේදී හේම බස්නායක මහතා භික්ෂු පෙරමුණ සමග එක් වී එ. ජා. පක්ෂය ප්‍රමුඛ රජයක් පිහිටු වීමට දායක විය. නමුත් මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් ඇති නොවන සේ කටයුතු කළ අග්‍රමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමට අනුමැතිය දුන්නේය.

නමුත් 1970 මැතිවරණයෙන් පසුව ඇති වුණු ශ්‍රී ල. නි. පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ බලයට පත්වීමෙන් පසු 1972 මැයි 22 වැනිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නිදහස ලබාගැනීමට යෙදුණි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව මිදුණු අතර ඇයගේ නියෝජිත විලියම් ගොපල්ලව මහතාගේ අග්‍රාණ්ඩුකාර ධුරය ද අහෝසි විය. නමුත් විලියම් ගොපල්ලව මහතාගේ සේවයට ගරු කිරීමක් ලෙස එතුමා නාම මාත්‍ර ජනාධිපති ධුරයට පත් විය.

1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එ. ජා. පක්ෂය ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණය නිසා 1978 අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති විය. ඒ අනුව 1978 පෙබරවාරි 4 වැනිදා අගමැති වශයෙන් සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ලෙස පත්වීම නිසා විලියම් ගොපල්ලව මහතාට දේශපාලනයෙන් හා තනතුරින් විශ්‍රාම ගැනීමට සිදු විය.

ඒ අනුව අවසාන වශයෙන් කිව හැකි වන්නේ 1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවට නිදහස ලැබුණත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නායකත්වය යටතෙ සර් හෙන්රි මන්ක් මේසන් මුවර් සෝල්බරිසාමි, සර් ඔලිවර් ගුණතිලක හා විලියම් ගොපල්ව යන සිවුදෙනා බ්‍රිතාන්‍ය නියෝජිතරුවරු ලෙස කටයුතු කළ බවය.

විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ නන්දලාල් වාකිස්ට
අඟුණුවල,පේරාදෙණිය

advertistmentadvertistment
advertistmentadvertistment