22 සංශෝධනය නිසා පොහොට්ටුව පොඩිවෙයි

560

පසුගිය සතිය වැහිබර අඳුරු කාලගුණික තත්ත්වයක් සහිත සතියක් විය. ඒ අයුරින්ම රටේ දේශපාලන තත්ත්වය ද අර්බුදකාරී අඳුරු එකක් විය. රට වැටී තිබෙන අසීරු අයහපත් තත්ත්වයෙන් මුදා ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව මේ වෙලාවේ ගත හැකි සෑම විසඳුමකටම එළඹෙමින් සිටින බව පෙනෙන්නට තිබුණි.

ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ රාජකාරි කිහිපයකටත් මඳ විවේකයක් ගත කරන්නටත් නැගෙනහිර පළාත බලා පිටත්ව ගියේය. ඒ අනුව පසුගිය සිකුරාදා ඔහු මුලින්ම ගියේ ත්‍රිකුණාමල නගර සැලැස්ම පිළිබඳ ව්‍යාපෘතියේ රැස්වීමකට ය. මෙම රැස්වීම සංවිධානය වී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සැලසුම් කළ සියක් නගර සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද ත්‍රිකුණාමල ඇවිදීමේ මන්තීරු පද්ධතියේ උද්‍යානයෙන් මැද එළිමහනක තාවකාලිකව ඉදි කරන ලද හට් එකක් තුළ ය. නැගෙනහිර ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් මැතිනිය ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට හා පළාතට අදාළ නිලධාරීන් සියලුම දෙනා පාහේ මේ රැස්වීමට පැමිණ සිටියහ.

රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අලංකාර ඇවිදින මංතීරුව දිගේ ඉදිරියට ඇවිද ගියේය. ඔහු නතර වූයේ මුහුද අද්දරය. ඈතින් ප්‍රීමා ආයතනය, අයි ඕ සී මූලස්ථානය හා නැගෙනහිර නාවික මූලස්ථානය ඉතා අලංකාර ලෙස දර්ශනය වූයෙන් ඔහු නැවතී වටපිට සිරි නරඹමින් සිටියේය. එහිදී එතැනට එක් රොක් වූ ත්‍රිකුණාමලය ජනමාධ්‍යවේදීහු ජනාධිපතිවරයා හා තම තමන්ගේ ප්‍රශ්න කතා කරන්නට වූහ.

”මේ දුෂ්කර කාල වකවානුව පහු කරන්න වෙනවා. ඔයාලට වගේම හැම වෘත්තියකට ම අද ප්‍රශ්න තියෙනවා. රජයක් හැටියට අපිට කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ වෘත්තිය තත්ත්වය ඉහළ නැංවීමට උපකාර කිරීම පමණයි. ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක් වෙලා අද ඒ සඳහා යම් වැඩ කොටසක් සූදානම් කරලා තියෙනවා. අපි ඉස්සරහට බලමු.” කියමින් ජනාධිපතිවරයා ඔවුන් හා ඉතා අවංකව කතාබහ කළේ අපි හැමෝටම අභියෝගයක් ඇති බව මතක් කර දෙමිනි.

රැස්ව සිටි පිරිස වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර තිබුණේ නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයේ ය. ඉන්පසුව ත්‍රිකුණාමල ආණ්ඩුකාර කාර්යාලයේදී දේශපාලඥයන්ගේ හා නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාව ආරම්භ විය.

“මේ ගොඩනැගිල්ල හදලා වැඩ අවසන් කළේ 2012 දී. එදා ඉඳලා මෙතනට කිසිම රාජ්‍ය නායකයෙක් පැමිණිලා නෑ. ඔබතුමා තමයි මෙතෙන්ට ආ පළමු රාජ්‍ය නායකයා…” ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනිය එසේ කියන විට ජනාධිපතිවරයා සිනහ වෙමින් එය පිළිගත්තේ ය.

“ඔන්න දැන් ආවා නේ… අද ඉඳලා අපි වැඩ කරමු…” ජනාධිපති කීවේය.

ආණ්ඩුකාරවරිය, ආණ්ඩුකාර ලේකම්, දිසාපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරු හා ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් මෙයට පැමිණ සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් පාරිසරිකව හා කෘෂිකාර්මිකව පැන නැඟී ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණක් වී තිබූ නිසාය. ජනාධිපති ලේකම්, වනජීවී, වනසංරක්ෂණ පුරාවිද්‍යාව වාරිමාර්ග ආයතන ප්‍රධානීන් ද මේ සඳහා පැමිණ සිටියහ. නිමල් සිරිපාල, දිලුම් අමුණුගම, ටිරාන් අලස් හැරුණ විට ප්‍රදේශයේ මැති ඇමැතිවරු ද පැමිණ සිටියහ.

“අපිට ගොවිතැන දියුණු කරන්න ඕන. කර්මාන්ත දියුණු කරන්න ඕන. මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න නං අපි අපේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කරලා ඒවා සඳහා රටින් පිටට ඇදී යන ඩොලර් නතර කරගන්න ඕන. අනිත් අතට ඩොලර් හම්බ කරන්න පුළුවන් කර්මාන්ත බිහි කරන්න ඕන. කොටින්ම වවන්න පුළුවන් හැම බිම් අඟලකම වවන්න ඕන. එහෙම කරොත් තමයි ඉදිරියේදී ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ. ජනතාව වවන්න ඉඩම් ඉල්ලනවා නම් කර්මාන්ත සඳහා ඉඩම් ඉල්ලනවා නම් අපි ඒව දෙන්න ඕන. හැබැයි අපේ පරිසරය, පුරාවිද්‍යාව, ආගම් වෙහෙර විහාර පෞරාණික සම්පත්, වාරිමාර්ග වගේ ඒවා රැකෙන්නත් ඕන. මේවා පිළිබඳව තීරණ ගැනීමේදී නිලධාරීන්ට ලොකු වගකීමක් තියනවා. හරක් ඇති කරන්න, හිස් ඉඩම්වල වවන්න පුළුවන් තරම් තියෙන නීති රීති ලිහිල් කරලා ජනතාවට අවස්ථාව දෙන්න…” ජනාධිපතිවරයා හැම පැත්තක් පිළිබඳවම අවධානය යොමු කරමින් එසේ කීවේය. නිලධාරීන්ද ඔවුන්ට ඇති ගැටලු මෙහිදී ජනාධිපතිවරයා හා සාකච්ඡා කළහ.

සාකච්ඡාව ඉතා සාර්ථකව අවසන් විය. ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරිය හා ප්‍රදේශයේ පවතින විශේෂ ගැටලු හා අනන්‍ය විශේෂ කරුණු ගැන සාකච්ඡා කළේය. අනතුරුව සියල්ලම විසිර ගියේ පසුවදාත් එවන් වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ පවතින බැවින් ඊට සූදානම් වීමට ය.

● හිටපු මන්ත්‍රී දයාට අසුන මාරු වෙලා…

ජනාධිපතිවරයා එදින රාත්‍රිය ගත කරන්නට පාසිකුඩාව දක්වා පිටත්ව ගියේය. අම්පාර දිස්ත්‍රික් රැස්වීම සූදානම් කර තිබුණේ නගර මධ්‍යයේ හාඩි තාක්ෂණික ආයතනයේය. කල්තියාම එතනට ආණ්ඩුකාර අනුරාධා මහත්මිය සහ අනෝමා ගමගේ හිටපු මන්ත්‍රීවරිය පැමිණ සිටියහ. ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු ප්‍රධානියෙක් වාහනය ක පැමිණි අතර ඒ හා සමාන අනිත් පරිවාර වාහනයේ පැමිණියේ දයා ගමගේ හිටපු මන්ත්‍රීවරයාය. දයා ගමගේ අම්පාර දිස්ත්‍රික් එජාප නායකයා බැවින් වාහනයෙන් බැස ජනාධිපති පිළිගන්නට උත්සව සභාවේ මුලට දිව ආවේය. ඒ වන විට ආණ්ඩුකාරවරිය ඇතුළු පිරිස ජනාධිපති පිළිගෙන අවසන් ය. ජනාධිපති ඇතුළු පිරිස කතාබහ කරමින් සිටින අතරතුර සාගල රත්නායක රැස්වීම පවතින ස්ථානය නිරීක්ෂණයට ගියේය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ඉහළ දේශපාලනඥයන්ට පීඨිකාවකුත් සෙසු නිලධාරීන්ට ඉන් පහළ වෙනත් ආසනත් පනවා ඇති බව දුටුවෙන් එය වෙනස් කර හැමෝටම එකම තලයක අසුන් පනවන්නට යෝජනා කළේය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක විනාඩි කිහිපයක් ඇතුළත එසේ සූදානම් කර දුන්නේය.

අසුන් පනවා ඇති තැන අසුන් වල නිල ධුරාවලිය අනුව නම් ගසා තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාට වම් පසින් සිටියේ ආණ්ඩුකාර වරියයි. දකුණු පසින් දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයන් හා ප්‍රධාන නිලධාරීන් සිටියහ. හිටපු මන්ත්‍රීවරුන්ට වෙනම අසුන් පනවා තිබිණි. ආණ්ඩුකාරවරිය එතන අසුන් ගන්නට තරමක් ප්‍රමාද විය. ඒ අතර දයා ගමගේ හිටපු මන්ත්‍රීවරයා පැමිණ එහි එහි අසුන් ගන්නට උත්සාහ ගනිද්දී ආරක්ෂක නිලධාරීන් පැමිණ හිටපු මන්ත්‍රීවරුන් සඳහා වෙනම තැනක අසුන් පනවා ඇති බව මතක් කළහ. ඩබ්ලිව්. ඩී. වීරසිංහ, තිලක් රාජපක්ෂ අතාවුල්ලා මුෂාරෆ් ඇතුළු ප්‍රදේශයේ මන්ත්‍රීවරුද පැමිණ සාකච්ඡාවට එක් වූහ.

සාකච්ඡා කළේ ගොවිතැන් හානි හා ගොවිතැනට ඇති ගැටලු පිළිබඳවයි. ප්‍රදේශයේ මන්ත්‍රීවරු හා නිලධාරීන් ඒ පිළිබඳ නොයෙකුත් අවනඩු කියන්නට වූහ. වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගාව සඳහා යොදවන මෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර ස්වාභාවික සම්පත් හා පෞරාණික සම්පත් රැක ගනිමින් ඒවා කෙසේ කරන්නේද කියා නිලධාරීන් ප්‍රශ්න සාකච්ඡා කර විසඳා ගත යුතු බව පෙන්වා දුන්නේය. අම්පාර ආහාර නිෂ්පාදනය අතින් ලංකාවේ ඉහළම දිස්ත්‍රික්කයක් බව ජනාධිපතිවරයා පිළිගත්තේය.

“අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් ගොඩක් දුක් විඳිනවා ප්‍රවාහන පහසුකම් නැති නිසා. අඩුම තරමින් ඔවුන්ට බයිසිකලයක්වත් දෙන්න”යි නිලධාරීහු කීහ…

“පවතින තත්ත්වයත් එක්ක ඕගොල්ලන්ගේ වැටුප් ගෙවන්නේත් අමාරුවෙන්. අපි ඉස්සරවෙලා කන බොන ඒව වවාගමු. ඩොලර් ටිකක් හොයා ගමු. ඊටපස්සේ ඔය තියන දුෂ්කරතා මැඬගෙන ප්‍රශ්නවලට උත්තර හොයමු.” අභියෝගය ජය ගන්නට දුක් විඳිය යුතු බව ජනාධිපති කීවේය. ඉන් පසුව ජනාධිපතිවරයා සියඹලාණ්ඩුව දක්වා පිටත්ව ගියේය. ගොවි බිමකට ගොස් ගොවිජනතාව විඳින දුෂ්කරතා සොයා බැලීම අරමුණ විය.

එම ස්ථානයට යන විට එතන සිටි කාන්තාවක් දැකලා ජනාධිපති ඇයගේ ළඟට ගියේය…

“මම මේ බැලුවා කවුද මේ නිළියක් වගේ ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්නේ කියලා ..” ඒ සිටියේ සුමේධා ජී. ජයසේන මැතිනියයි. රනිල් එය කියූ ආකාරයට ඇයටත් හිනාය. ආපසු එන ගමනේදී හෙලිකොප්ටරයට නගින්නට පෙර ප්‍රදේශයේ දුප්පත් දහම් පාසලක් දැක ජනාධිපතිවරයාට ඊට ගොඩ වන්නට අවශ්‍ය විය.

ජනාධිපතිගේ පැමිණීමෙන් මවිතයට පත් දරුවෝ සහ ගුරුවරු ජයමංගල ගාථා කියා ජනාධිපතිවරයා පිළිගත්හ.

● පාර්ලිමේන්තු ආ ප්‍රශ්න දෙකක්…

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. පාර්ලිමේන්තුවේ විශේෂ පනත් කිහිපයක් මෙම සතියේ සාකච්ඡා කර සම්මත කර ගන්නට ආණ්ඩුවට අවශ්‍ය විය. පළමුවැන්න බලශක්ති සංශෝධන පනත් කෙටුම්පතයි. කාලාන්තරයක සිට මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ තිබෙන අර්බුද රැසක් විසඳා ගැනීම සඳහා යෝජනා රැසක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් විය. දෙවැනි කාරණාව වූයේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණය හා දේශපාලන පක්ෂ යෝජනා කර තිබූ සංශෝධන සියල්ල සහිත විශේෂ පනත් කෙටුම්පත ඒ වන විට විජයදාස රාජපක්ෂ මහතා සකස්කර අවසන්ව තිබිණි.

මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට වූහ. බලශක්ති පනත් කෙටුම්පතට පැහැදිලි බෙදීමක් තිබිණි. සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ඊට විපක්ෂව ඡන්දය දෙන්නට තීරණය කර තිබිණි. එහෙත් විසි දෙවැනි සංශෝධනයට තම තමන්ගේ යෝජනා ද ඇතුළත්ව තිබෙන බැවින් පක්ෂව ඡන්දය දෙන්නට විපක්ෂයේ කණ්ඩායම්ද එකඟත්වය පළ කර තිබිණි. එහි යම් යම් යෝජනා කිහිපයකට විරෝධය පළ කර තිබුණේ විපක්ෂය නොව, ආණ්ඩු පක්ෂයේම පොහොට්ටුවේ සුළුතර කණ්ඩායමකි.

මේ කාරණාව ගැන පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත් කරුණු කාරණා සාකච්ඡා වූහ. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 22 වැනි සංශෝධනය විවේචනය කරමින් මුලින්ම කතා කරන්නට වූයේ සාගර කාරියවසම් හා සරත් වීරසේකරයි.

“කාට වුණත් ප්‍රතිපත්තියක් තියෙනවා. 20ට කැමතියි කියලා අත ඉස්සුවා. ඒ අතම කොහොමද අපි 22ටත් කැමතියි කියලා උස්සන්නේ.” සාගර කිව්වේ ය.

“අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරවන්න විසි දෙවැනි සංශෝධනයෙන් බලය ලැබෙනවා. ඔබතුමා කෙළින්ම කියන්න පාර්ලිමේන්තුව විසුරුවනවාද නැද්ද කියලා…” සරත් වීරසේකර තම විරෝධය එලෙසින්ම ප්‍රකාශ කරමින් කීවේය.

“මැතිවරණ කොමිසම කියනවා පළාත් පාලන ඡන්දෙ තියෙනවා කියලා. ඒ අස්සෙ විපක්ෂය මහ මැතිවරණයක් ඉල්ලනවා. ඔබතුමා මොකක්ද කරන්නේ…

“ ඔබතුමා බුලත් අතක් අරගෙන ඇවිල්ල වැඳල ඉල්ලුවත් මම අවුරුදු දෙකහමාරින් පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නෑ”

ජනාධිපතිවරයා කී කතාවට සියලුම දෙනාට හිනාය.

“ද්විත්තව පුරවැසිභාවය පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ ස්ථාවරය අපිට පැහැදිලි කරන්න”

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

“මේක මම ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි. ඒත් මගෙන් අහපු නිසා මම උත්තර දෙන්නම්. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනාව මම ගෙනාපු එකක් නෙවෙයි. මේ යෝජනාව ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය.

“මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න බැරිවුණොත් අපිට අයි.එම්.එෆ් එකත් එක්ක සාකච්ඡාවට යන්න බැරි වෙනවා. ව්‍යවස්ථා සංශෝධනයකින් තමයි දේශපාලන ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වෙන්නෙ. එතනින් පස්සේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට යන්න පුළුවන් ”

විදේශ ඇමැති අලි සබ්රි තව පැහැදිලි කිරීමක් කළේය.

“මේක නිකං මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. මොනව වුණත් අපිට මේ ව්‍යවස්ථා සංශෝධනයට මුහුණ දෙන්න වෙනවා. මේක මඟහරින්න බෑ ”

ජනාධිපතිවරයා පැවසුවේ ස්ථීර හඬිනි.

● විපක්ෂය එකට නිදහස පෙරට…

නිදහස ජනතා සභාවේ නාවල, කොස්වත්ත පිහිටි කාර්යාලය මේ දිනවල කාර්යබහුල තැනක් වී ඇත. ඔවුන් මේ දිනවල උත්සාහ කරන්නේ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සියල්ල ඒකරාශී කරගෙන අනාගත ඒකාබද්ධ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම සඳහාය.

ඒ අනුව ඔවුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට සූදානම් කර සිටියහ. විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පක්ෂවලට ඔවුන් පසුගිය දිනවල එම ප්‍රකාශය ලබා දෙනු ලැබූහ.

පසුගිය සති මැද නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියහ…

“ජනතා සභාවේ වැඩපිළිවෙළට අපේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිචාරය කොහොමද..?”

චරිත හේරත් විමසා සිටියේ ඩිලාන් පෙරේරාගෙන්ය. පක්ෂ නායකයන් සම්බන්ධ කරගෙන ඒ පිළිබඳ වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමේ වගකීම ඩිලාන්ට නාලකට හා කුමාරසිරි ට පැවරී තිබිණි. විමල්ලාගේ පිල වෙනුවෙන් වාසුදේවත් සමගි ජන බලවේගය වෙනුවෙන් අශෝක් අබේසිංහත් මෙහි මූලික සාකච්ඡා සඳහා නම් කර තිබිණි.

“විපක්ෂයේ සියලු පක්ෂ එක තැනකට ගන්න එක මේ වෙලාවේ අපිට හරි වැදගත්” චරිත හේරත් කීය.

“ඒක නම් ඇත්ත. මේ වෙනකම් කරගන්න බැරි වුණෙත් ඒක තමයි.” නාලක ගොඩහේවා කීය.

“මේ වෙනකම් කරගන්න බැරි වුණ දේ අපි කරනවා. කරන්න බැහැ කියලා කිසිම දෙයක් නැහැ කියලා පෙන්වනවා” මේ කතාවට එක් වූ ඩිලාන් පෙරේරා පැවැසීය.

“අපි මෙතනදී ඉක්මන් මැතිවරණය තියමු කියලා විපක්ෂයේ පක්ෂවලින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරනවානේ. ඒකෙ ලිපි ලේඛන ටික කොහොමද පක්ෂ නායකයන්ට යවන ලියුම් පරක්කු වුණා කියලා පාර්ලිමේන්තුවේ දී ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා කීපසැරයක් කාර්යාලයට කතා කරලා කෑගහලා තියෙනවා” චරිත හේරත් කීය.

“ඔව්. ඔව් කෑගහලා හරි වැඩේ කරගත්තා.” ඩිලාන් පෙරේරා පිළිතුරු දුන්නේ සියලු දෙනා සිනහා ගන්වමිනි.

“බ්‍රහස්පතින්දා උදේ 11.00 ට ඔක්කොම පක්ෂ නායකයෝ කමිටු අංක 7 ශාලාවට එක්වූහ. සභාව මෙහෙයවූයේ ඩිලාන්ය.

අන්තිම වේලාවෙ “සජිත් මොකද කියන්නේ” චරිත හේරත් ඇසීය.

“නිදහස කණ්ඩායම ඉතා ඉක්මනින් මේවගේ කටයුත්තක් සංවිධානය කිරීම ප්‍රශංසනීයයි කිව්වා. ඉදිරියේදී සියලු පක්ෂ එකතුවෙලා විපක්ෂයක් විදිහට රජයට විරුද්ධව වැඩ කිරීමට මෙය හොඳ ආරම්භයක් කියන එක තමයි අදහස් කළේ” නාලක ගොඩහේවා කීය.

වැඩේ ඉවර වෙලා ගයන්ත කීවේ ඔයාල ඔක්කොම එක තැනකට ගෙනාපු එක ලොකු දෙයක් කියාය. අනුර කුමාර අවෙ නැත්තෙ ඇයි කියල කසුකුසුවක්ද විය.

ඒ වෙලාවෙම ඩිලාන් අනුරට කෝල් කළා, අනුර කිව්වේ තමන් ඒකාබද්ධ ප්‍රකාශයට අනුමැතියක් පළකරන බවත් නුදුරු දිනෙක එයට අත්සන් ද තබන බවයි.

“ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු ගැන අපි මෙතන නිකං කතාකරල වැඩක් නෑ. අපි මේක කතාකරන්න ඕන අධිකරණ ඇමැතිතුමා එක්කයි. එතුමා මෙතෙන්ට එන්නෙ නැත්තෙ මොකද” ඒ මන්ත්‍රී සුමිත් උඩුකුඹුරය.

එයට පිලිතුරු දුන්නේ අගමැති දිනේෂ් ගුණවර්ධනය.

“අපිට අද තවත් මීටිමක් තියෙනවා. අධිකරණ ඇමැතිතුමා සහභාගි වෙනවා.”

අගමැතිවරයා කීය.

අනතුරුව දීර්ඝ වේලාවක් නිහඬව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතා කළේය.

“අපි මේ ගැන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගමු. ඒකට අගමැතිතුමා ප්‍රධානත්වය ගන්න”

“සර්.. ජනාධිපතිතුමා උඩ ඉන්නවා. එතුමා ගෙන්වන්න පුළුවන්” ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් ආශු මාරසිංහ පැවසීය.

“ එහෙනම් එතුමට එන්න කියමු” හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

ඒ දැනුම්දීමට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පහළට පැමිණියේය.

අනතුරුව මුලින්ම කතා කළේ එස්. බී. දිසානායක හිටපු ඇමැතිවරයායි.

“විධායක ජනාධිපති බලතල ඉවත් කරනවට මම විරුද්ධයි. ආර්ථික වශයෙන් වැටිල ඉන්න වෙලාවක රට ගොඩගන්න විධායක බලය අවශ්‍යයි. දියුණු වෙන රටකට ඕන ආඥාදායකයෙක් වගේ පාලකයෙක්” එස්. බී. කීවේය.

“මම හිට්ලර් කෙනෙක් නෙවෙයි. මම ආවේ ඔළුව පාවිච්චි කරල ගේමක් ගහන්නයි. මම ඔය වචනයට කැමති නෑ”

ජනාධිපතිවරයා එස්. බී. ට පිළිතුරු දුන්නේය.

“විධායක බලය පාර්ලිමේන්තුවට ආවම පොලිසිය හා හමුදාව කොයි විදියට වැඩ කරයිද කියල විශ්වාස නෑ”

ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය තවත් ප්‍රශ්නයක් මතු කළේය.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පොලිසිය හමුදාව ක්‍රියාකළේ නැති වුණාට දැන් වැඩ කරනවා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ” ජනාධිපතිවරයා පිලිතුරු දුන්නේය.

“මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල නැතිවෙන්නේ නැහැ. අපි හිටියේ ප්‍රජාතන්ත්‍රවාදය නැති රාමුවක. මිනිස්සු එළියේ මහජන පාර්ලිමේන්තු හදන්න හැදුවා. දැන් ඒ තත්ත්වය පාලනය වෙලා. අපිට මේ ව්‍යවස්ථා සංශෝධනය ඕන රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ කළා කියල ජාත්‍යන්තරයට පෙන්වන්න. එතකොට තමයි ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වගේම අයි.එම්.එෆ්. එකත් එක්ක කරන සාකච්ඡා සාර්ථක වෙන්නෙ. එහෙම නැතිවුණොත් අනිවාර්යයෙන්ම රටේ ආහාර අර්බුදයක් ඇති වෙනවා. ඔබතුමන්ල ඒක තේරුම් ගන්න. අපි මහජන මතය බලන්න ඕන. මහජන මතය තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයකටයි. මහජන සහය නැතුව ගමනක් යන්න බැහැ.” ජනාධිපතිවරයා දීර්ඝ විස්තරයක් කළේය.

“අනිත් කාරණය මේ කොමිෂන් සභා එක්ක දිගට යන්න බැහැ. මේ කොමසාරිස්වරු වැඩ කරන්නේ අපිට නෙමෙයි. මානවහිමිකම් කොමිසමේ සභාපති වැඩ කරන්නේ අපිට විරුද්ධව. මැතිවරණ කොමිසමේ සභාපතිත් එහෙමයි. මොන පදනමකින් මේ අය පත්කළාද කියන්න මම දන්නේ නැහැ. අපි බෙදිල වැඩක් නෑ. අපි බෙදන්න ඕන විපක්ෂයයි. ලබන අප්‍රේල් වෙනකොට රටේ ප්‍රශ්න යම් මට්ටමකට විසඳගන්න පුළුවන්. ඔබතුමන්ල මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන වැරදි අවබෝධයක් තියාගන්න එපා” ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය.

“ සර්… කවුරුවත් මෙතන ඇත්ත කියන්නේ නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් බැසිල් රාජපක්ෂ මහත්තයට නැවත දේශපාලනයට එන්න පුළුවන්ද කියන ප්‍රශ්නයයි මෙතන තියෙන්නෙ”

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඇසුවේ බොහෝ දෙනකුගේ සිතේ තිබුණු ගැටලුවකි.

එයට පිලිතුරු දුන්නේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වාය.

“පුද්ගලයකු ඉලක්ක කරල ව්‍යවස්ථා හදන්න බැහැ. ද්විත්ව පුරවැසිභාවය තියාගන්නවට ශ්‍රී.ල.නි.ප අපි විරුද්ධයි. ඒක අයින් නොකළොත් අපි සහය දෙන්නේ නෑ. කාටහරි ප්‍රශ්නයක් තියේනම් දෙවනිවර කියවීමේදී සංශෝධනයක් ගේන්න. එතකොට ඡන්දයකට යන්න පුළුවන්”

“ඔව්… දෙවනිවර කියවීමේදී අපිට විරුද්ධ වෙන්න, පක්ෂ වෙන්න පුළුවන්. මේකට අපේ සංශෝධන විතරක් නෙවෙයි, විපක්ෂයේ සංශෝධනත් ගේන්න ඕන.” ජනාධිපතිවරයාත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ අදහසට පක්ෂව අදහස් දැක්වීය.

“ඔයාල කණ්ඩායම ගිහිල්ල අධිකරණ ඇමැතිතුමා එක්ක කතා කරල තීරණයක් ගන්න” අනතුරුව ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

● ඇපල් නැතිනම් මසං කන්නලු….

අඟහරුවාදා සවස ජනපති රනිල් මුණගැසීමට එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් කණ්ඩායමක් පැමිණියේ පක්ෂ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. පක්ෂ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ද කරුණු දැක්වීය. මෙහිදී ජනපති කීවේ පක්ෂය රැගෙන ජනතාව අතරට යෑමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය. අයවැයත් සමඟ ගමින් ගමට ගොස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන දැනුවත් කරන ලෙස ජනපති රනිල් පිරිසට උපදෙස් දුන්නේය. එදින නියෝජ්‍ය නායක රුවන් පරිසර අමාත්‍යාංශට ගියේ පරිසර හිතකාමී වාහන සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් ගැන අමාත්‍යාංශ ලේකම් සමඟ සාකච්ඡා කිරීමටය.

බදු සංශෝධනය ගැන විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා කරන ලද්දේ බදාදා සවසය. එදින පෙරවරුවේ ජනපති මුණගැසීමට පැමිණ සිටියේ “ඇපල් මසං” පළතුර වගාකරන ගොවි මහතෙකි. ඔහුව රැගෙන අවේ කෑගල්ල හිටපු එ.ජා.ප. මන්ත්‍රී චම්පිකා ප්‍රේමදාස ය. ඔවුන් මුලින් සාගල රත්නායක මහතා මුණගැසී මේ බව කියද්දී කොළ ඇපල් ගොවි මහතාව ඔහු රැගෙන ආ ඇපල් පාර්සලය ද සමඟ ජනපති නිල කාමරයට ඔවුන් කැඳවාගෙන ගියේ සගල විසිනි.

“සර් අපේ චම්පිකා මන්ත්‍රීතුමිය හොඳ පළතුරු වගයක් අරගෙන ඇවිල්ලා තියෙනවා.” සගල කියන්දී ජනපති ද එය කුමක්දැයි විමසීය. ඇපල් පාර්සලයෙන් ගෙඩියක් රැගෙන එය අනුභව කළ ජනපති “ෂා මේවා ඇපල්වලටත් වඩා රසයිනේ.” කීවේය. “මේවට කියන්නේ ඇපල් මසං කියලා. ඇපල් ප්‍රබේදයක් හා මසං ප්‍රබේදයක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ.” ගොවි මහතා ද ජනපතිට එය විස්තර කළේය. එම ඇපල් මසං ගොවිතැන දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දෙන්නැයි ජනපති සාගලට උපදෙස් දුන්නේය. ජනපති එදින ඇමෙරිකානු දූත පිරිසක් ද මුණ ගැසිණි. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහි ද ජනපති සිටියේ පාර්ලිමේන්තුවේය.

සෙනසුරාදා ජනපති අනුරාධපුරය බලා පිටත්ව යෑමට සූදානම් වූයේ අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වීමටය.

නාහිමියන් අසනීපව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දැනගත් වහාම ජනපති එහි ගොස් සුවදුක් විමසාද තිබුණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment