EPF-EPF පොලිය 9% කළේ ගෝඨාභය – එදා ඇමැතිකම් දැරූ ජී. එල්. ඩලස් අද විරුද්ධ වීම පුදුමයක් -වජිර කියයි

74

EPF සහ EPF එකේ 2020, 2021, 2022 වර්ෂවලට අදාළව සියයට 9 ක පොලිය තීරණය කළේ එදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවත් එම රජයේ එදා ඇමැතිවරුන්ව සිටි ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි අය එය වැරදි කියා කීම විමතියට කරුණක් බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

තැන්පත්කරුවන්ට නැවත බදු ගහන්න කියන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුයි. විශේෂයෙන් විපක්‍ෂය දිගින් දිගටම කියනවා තැන්පත්කරුවන්ට ටැක්ස් දාන්න ඕනෑ කියලා. ඔවුන් ටැක්ස් දාන්න ඕන කියනවා නම් ඒ 20% ද, 25% ද, 40% ද කියලා කියන්න ඕන. එහෙම කිව්වොත් ජනාධිපතිතුමන්ට පුළුවන් ලබන සතියේ මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. එවිට ජනාධිපතිතුමන් හා කැබිනට් මණ්ඩලය මේ ගැන සලකා බලාවි යයිද ඔහු පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් අබේවර්ධන මහතා මෙසේද කීය. සියයට 9 පොලිය අවුරුදු 3 ක් එකම අගයක තියා ගත්තේ මහා භාණ්ඩාගාරයේත්, මුදල් මණ්ඩලයේත්, කම්කරු ඇමැතිවරයාගේත් අනුමැතිය ඇතිව. කෙසේ හෝ ඉදිරි කාලයේදී EPF හෝ EPF යම් කිසි මුදලක් අඩු කරනවා නම් හෝ වැඩි කරනවා නම් ඒ හරහා අසාධාරණයක් වෙනවා නම් ඉදිරි වර්ෂ තුනට පමණක් ආරක්‍ෂාව දෙන්න පුළුවන්. එහෙම තමයි මහ බැංකුව උනත් සැලසුම් කරන්නේ කියලා අපිට විශ්වාසයි. උද්ධමනය අඩු වෙනකොට තැන්පත්කරුවෝ සියලුදෙනාටම එහි වාසිය ලැබෙනවා. රටක් බංකොලොත් වුණාට පස්සෙ බංකොලාත් වූ රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොඩගන්න සැලසුම් කරනකොට කිසිදු සැලැස්මක් නොමැතිව එහෙන් මෙහෙන් කොටස් අරගෙන පහරදී ඒ සැලැස්ම කඩාකප්පල් කළ හොත් අපේ රට නැවත වරක් කඩා වැටේවි. ඒ නිසා සියලුදෙනා මේ වෙලාවේ රටේ තිබෙන මූල්‍ය තත්ත්වය තේරුම් ගැනීම වැදගත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලය දේශපාලනය සඳහා භාවිතා නොකළ යුතුයි. එසේ කළහොත් මුළු රටක්ම විනාශවී යාවි.

මේ හේතුව නිසා තමයි රටටත්, ජාතියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දිගින් දිගටම ප්‍රකාශ කළේ ජාතික එකඟතාවයක් යම් කරුණු සම්බන්ධයෙන් අවශ්‍යයි කියලා. ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික එකඟතාවයක් අවශ්‍යයි. දේශපාලනය වෙනම කරන්න පුළුවන්. එය රටේ ආර්ථිකයට අගතියක් නොවිය යුතුයි.

ඒ නිසා මේ පිළිබඳව විරුද්ධ පක්‍ෂය දරන මතය මිලියන 57 ක් වන තැන්පත්කරුවන්ටත්, මිලියන 22 ක් වන මේ රටේ මහජනතාවටත් විපක්‍ෂය ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. එසේ ප්‍රකාශ නොකරන්නේ නම් ඒ අය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුයි. එහෙම අස්වුණොත් පොදු පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට ඒ සඳහා අලුත් අය පත්කර ගැනීමට අවස්ථාව ලැබේවි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment