ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 15 වැනිදාට පෙර ප්‍රකාශයට

217

ලබන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝම්බර් මස 08 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම් ලබන 15 වැනිදා ට පෙර ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇතැයි ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

චීනයේ හැංශුයි හිදී මෙවර තරගාවලිය පැවැත්වේ. මෙවර තරගාවලිය සඳහා ආසියානු කලාපයේ රටවල් 42 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දහසකට අධික පිරිසක් සහභාගීවිමට නියමිතව ඇත.

ක්‍රීඩා 40 ක් යටතේ ඉසව් 482 කට පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිත එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංචිතය ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

එහෙත් එම සංචිතය ලබන 10 වැනිදාට පෙර අනුමැතිය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා වෙත යොමු කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවේ අවධානය යොමු වී තිබේ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා 20 කට වඩා නියෝජනය කිරීමට අපේක්ෂා කෙරේ.

ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස නිශාන්ත පියසේන මහතා නම් කර තිබේ.

2009 වසරේ පැවති යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ, 2010 වසරේ පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ 2014 වසරේ ග්ලාස්ගෝව් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති පියසේන මහතා තවත් එවැනි ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරඟාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත.

ශ්‍රී ලංකාව මෙතෙක් පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් 46 ක් ජයග්‍රහණය කර ඇති අතර ඒ අතර රන් පදක්කම් 11ක් සහ රිදී පදක්කම් 11ක් වේ. දිනාගෙන ඇති ලෝකඩ පදක්කම් සංඛ්‍යාව 24කි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment