අධිකරණයේ අවවාද නොතකා දේශපාලන උවමනාවට පොංගල් උළෙලක් කළ වෙඩුක්කුනාරී පූසාරි ඇතුළු නවදෙනාට ඇපත් නෑ

529

අධිකරණයට අපහාස කිරීම, පොලිස් අණසකට යටත් නොවීම හා මහජනයා උසිගැන්වීම යන චෝදනා රැසකට වරදකරුවන් වන නිසා වවුනියාව වෙඩුක්කුනාරී කෝවිලේ බලහත්කාරයෙන් පොංගල් උත්සවයක් පැවැත්වීමට මුලික වූ සැකකරුවන් 9 දෙනාට ඇප ලබාදීම වවුනියාව මහෙස්ත්‍රාත්වරයා විසින් පෙරේදා (12 දා) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව නියමිත පරිදි පොලිස් වාර්තා ඉදිරිපත් වන තුරු ඔවුන් නවදෙනාව මාර්තු මස 19 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වවුනියාව අධිකරණයේ පනවන ලද නඩු හයකින්ම මෙම ස්ථානයේ මහා පරිමාණයේ පුද පූජා පැවත්වීම හෝ සංවර්ධන කටයුතු සිදු කිරීම නවතා දමා තිබියදී මෙවර මහා ශිව රාත්‍රී දිනය දා මහා පරිමාණයේ පොංගල් උළෙලක් දේශපාලනඥයන්ගේ උවමනාවට පැවැත්වීම සම්බන්ධයෙන් එම කෝවිලේ පූසාරිවරයා අතුලුව නව දෙනෙකු පසුගිය 8 දා අත්අඩංගුවට ගෙන තිබුණේ නෙඩුන්කේනි පොලිසිය විසිනි.

ඔවුන් පළමුවරට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාර්තු මස 12 වෙනිදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් භාරයේ තබන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එදින යළි ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව 19 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන්ට ඇප ලබාදීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ ඥාතීන් විශාල පිරිසක් අධිකරණය වෙත පැමිණ සිටි නමුත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම සැකකරුවන් 9 දෙනා වවුනියාව බන්ධනාගාරය වෙත රැගෙන ගිය අවස්ථාවේදී ඥාතීන් මහපාරේ සිට හඬා වැළපෙමින් සිටිනු දක්නට ලැබුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment