අයි.එම්.එෆ්. සාකච්ඡාවලට ජනාධිපතිගෙන් විපක්ෂයට ඇරැයුම්

118

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව එළැඹෙන සඳුදා (11 දා) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා කර තිබේ. ඔවුන් සමග කැමැති ඕනෑම අයකුට ද සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තවද පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට ද මේ සඳහා සහභාගි වන ලෙස දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩපිළිවෙළෙහි යෝජනා සම්බන්ධව එහි නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලීමක් කර තිබුණි. රට යළි ගොඩනැගීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයා යුතු බවත් ඒ සඳහා සියලු පක්ෂවල සාමුහික වගවීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයාගේ ද ස්ථාවරය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ද සහභාගි වීමට නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment