ආදායම් වැඩි කර ගන්න අලුත් පරිසර උද්‍යාන ඇති කෙරේ – සංචාරකයන්ට රක්‍ෂිතවලට යන්න දෙයි

154

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද සිය ආදායම් වැඩි කර ගැනීමට අලුතින් පාරිසරික උද්‍යාන ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව දැනට පාරිසරික උද්‍යාන ලෙස නම් කර ඇති ගලවිල, ගල්ඔය සහ හුරුළු පාරිසරික උද්‍යානවලට අමතරව තවමත් පාරිසරික උද්‍යාන ලෙස නම් කර නැති සිංහරාජ වනාන්තරය, කන්නෙළිය රක්ෂිතය, උඩවත්ත කැලේ රක්ෂිතය, ඇල්ල රක්ෂිතය යන රක්ෂිත ද පාරිසරික උද්‍යාන ලෙස නම් කිරීමට තීරණය කර තිබේ. එවිට එම රක්ෂිත වනාන්තර වෙත ද ගොස් ගොස් පරිසර සුන්දරත්වය විඳීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවකාශ සැලසෙනු ඇත.

ඉදිරි වර්ෂය තුළ සිය ආදායම වැඩිකර ගැනීමට බුන්දල, නකල්ස් හා සිංහරාජ ජෛවගෝල රක්ෂිත මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ සොබාදහම පදනම් කරගත් සංචාරක සැලසුම් සකස් කර තිබේ.

එමෙන්ම නව පුහුණු මධ්‍යස්ථාන යොදා ගනිමින් විදේශ සමග ඒකාබද්ධ පුහුණු වැඩසටහන් පැවැත්වීමට ද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයට අයත් වන ජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම 2023 වසරේ මුල් මාස 06 තුළ පමණක් රුපියල් මිලියන 2148.6ක් ලෙස වාර්තා වේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment