ඉහළ බෝමිරිය සුමනාරාම විහාරයේ විහාරාධිපතිට පහරදීමේ සිද්ධිය

206

පෙරෙට්ටුවේදී හඳුනාගත් සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ්

ඉහළ බෝමිරිය සුමනාරාම විහාරස්ථානයට අයුතු ලෙස ඇතුළුවී එහි සිටි කාන්තාවන් දෙදෙනකුට සහ විහාරාධිපති පල්ලේගම සුමන හිමියන්ට පහරදුන්නේ යැයි නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි සැකකරුවන් අටදෙනා ඊයේ (12දා) කඩුවෙල අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී ස්වාමීන් වහන්සේ විසින් සැකකරුවන් හත්දෙනකු හඳුනාගත් අතර වැඩිහිටි කාන්තාව විසින්ද සැකකරුවන් හත්දෙනකු හඳුනා ගන්නා ලදී.

අනිත් තරුණිය කිසිදු සැකකරුවකු හඳුනා ගත්තේ නැත. මෙහිදී කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය විසින් සැකකරුවන් අටදෙනාම ජූලි 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළාය. මේ සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද එමෙන්ම සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් සිදුකිරීමේ ක්‍රියාවන් සිදු නොකරන ලෙසද වරදේ බරපතළකම සලකා මෙම නියෝග කරන බවද මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කළාය.

ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම විහාරස්ථානයට පසුගිය 6 වැනිදා රාත්‍රීයේදී කාන්තාවන් දෙදෙනකු ඇතුළු වී ඇති අතර ඔවුන් යළි පැමිණීම ප්‍රමාද වන බව නිරීක්ෂණය කළ ගම්වැසියන් විහාරස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වීම නිසා විශාල කලබලයක් ඇතිවී තිබූ අතර එහිදී ගම්වැසියන් විහාරාධිපති හිමිට මෙන්ම කාන්තාවන්ටද පහරදී එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමද සිදු කොට තිබේ.

පසුව විහාරාධිපති හිමියන් කරනු ලැබූ පැමිණිල්ල මත සැකකරුවන් අටදෙනකු නවගමුව පොලිසියට භාරවීම සිදුවිය. මේ සිද්ධියට සම්බන්ධ විහාරාධිපති හිමි සහ කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් ප්‍රදේශවාසීන් පසුගියදා ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී උද්ඝෝෂණයක්ද පැවැත්වූහ.
කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment