එන්ඩොස්කොපියට ටෙන්ඩර් මගඩියක්!

181

කොළඹ ජාතික රෝහල සඳහා ‘එන්ඩොස්කොපි’ යන්ත්‍රයක් ගෙන්වීමට සහ එම යන්ත්‍රයේ කොටස් සේදීමට අදාළ රසායන ද්‍රව්‍ය ගෙන්වීම වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 430කට ආසන්න මුදලක් වැය කිරීම සඳහා ප්‍රශ්න සහගත දූෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ ‘එන්ඩොස්කොපි’ යන්ත්‍රයේ වටිනාකම පමණක් රුපියල් මිලියන 30 ක් පමණ වන අතර, ඉන් මිනිස් සිරුරේ උගුරේ සිට ආමාශය දක්වා රෝග තත්ත්වයන් රැසක් නිරීක්‍ෂණයට සහ පරීක්‍ෂණයට හැකියාව පවතී.

කොළඹ ජාතික රෝහලේ ටෙන්ඩර් අංක SG/IV/17/2024/09 යටතේ මෙම ප්‍රසම්පාදනයන් පිළිබඳව මෙම මස 13 වැනිදා මිලගණන් කැඳවීම සිදුකර ඇති අතර ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමාගම් අදාළ මිල ගණන් කොළඹ ජාතික රෝහල වෙත ලබාදී තිබේ.

ඒ අනුව ‘එන්ඩොස්කොපි’ යන්ත්‍ර සඳහා ලීටර් පහ බැගින් වන ‘AmilyVirusole’ නම් රසායන ද්‍රව්‍ය ඇසුරුම් කෑන් 1250ක් මිලදී ගැනීම සඳහා එක් ඇසුරුමකට රු. 271,141 බැගින් රු. 338,926,250ක් ගෙවීමට අදාළව ප්‍රසම්පාදනයන් සිදුකර ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මේ අනුව රුපියල් මිලියන 30කට ආසන්න වටිනාකමක් ඇති අදාළ ‘එන්ඩස්කොපි’ ශල්‍ය උපකරණයක් පිරිසිදු කිරීම සඳහා පමණක් වසරකට රුපියල් මිලියන 400කට අධික මුදලක් වැය කරන ආකාරයට මෙම ප්‍රසම්පාදනය සිදු කිරීම, බරපතළ දූෂණ වංචාවකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම අනුබලදීමක් බවද එම සන්ධානය කීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment