කැටගොඩගේ පනත් කෙටුම්පත් තුනට සජබයෙන් දැඩි විරෝධය

102

මේක කපුටාගේ අවතාරයක් – විපක්ෂ නායක

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ආදී වශයෙන් සංශෝධන පනත් කෙටුම්පත් 03ක් පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින්… පාර්ලිමේන්තුවට ඊයේ (05දා) ඉදිරිපත් කරන ලදි.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත් තුන සඳහා සමගි ජන බලවේගයේ දැඩි විරුද්ධත්වය එල්ල වූ අතර සජිත් ප්‍රේමදාස, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් එහිදී අදහස් දක්වමින් කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලද්දේ විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවා හිටපු මන්ත්‍රීවරුන්ටම නැවත බලය ලබා දීමට බවය.

අදාළ යෝජනා තුනම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා- මොකක්ද මෙතුමා මේ ඉදිරිපත් කරන්නේ? එතුමා පුද්ගලික මන්ත්‍රී යෝජනා තුනක් ඉදිරිපත් කරනවා. දැන් පළාත් පාලන ඡන්දය කල් දාලානේ… මන්ත්‍රීවරු නෑ දැන්. මේ කරන්න හදන්නේ අර ඉවත් කරපු මන්ත්‍රීවරුන් නැවත ගේන්න කියලා. එහෙම කරන්න ව්‍යවස්ථාවේ කොහේවත් නෑ. ඇයි මෙහෙම කරන්නේ.

කථානායක- මේ ගැන අමාත්‍යාංශයට යොමු කරලා වාර්තාවක් අරගෙන තමයි විවාදයට ලක් කරන්නේ.

විපක්ෂනායක- බොහොම පැහැදිලියි, පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. නමුත් රජය මුදල් නෑ කියලා මැතිවරණය කල් දාන්න මුද්‍රණාලයාධිපතිනියවත් සම්බන්ධ කරගෙන කූට වැඩ පිළිවෙළක් ගෙනිච්චා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීනුත් සම්බන්ධ කරගෙන. අනාගතයේදී මේ සියල්ලන්ටම මේකට වගකියන්න වෙනවා. රටේ උත්තරීතර නීතිය කඩ කළා කියලා.

ආණ්ඩුව දැන් මොකක්ද මේ කරන්න යන්නේ. අර විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන සහ ඒ විසිරුණු මන්ත්‍රීවරු ආපහු ගේන්න හදනවා. මේක කපුටාගේ යෝජනාවක්. අරගලය ඇවිත් කපුටාව පැන්නුවා. කපුටාගේ ඒජන්ත තමයි අද මේක කරන්නේ. කපුටාගේ අවතාරයක් තමයි මේ කියන්නේ අර විසුරවපු මන්ත්‍රීවරු යළි කැඳවන්න කියලා. ඒ මන්ත්‍රීවරුන්ගේ කාලය අවසන් වෙලා තිබියදී මේ කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට සමගි ජන බලවේගය අධිකරණයට යනවා. කපුටන්ගේ අවතාර තමයි මේ එන්නේ.

ජයන්ත කැටගොඩ මහතා- 2020දී පාර්ලිමේන්තුව විසුරවා තිබියදී නැවත කැඳවන්න කියලා එදා සමගි ජන බලවේගය යෝජනාවක් ගෙනාවා මතක නැද්ද?

විපක්ෂ නායක- අපි එදා කිව්වේ කොවිඩ් විනාශ කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නැවත ලබා දෙන්නයි. තකතීරුවන්ට මේක තේරෙන්නේ නෑ.

හර්ෂ ද සිල්වා මහතා- ඇමැතිවරයාට පුළුවන්ලු මේකෙන් නැවත ඒ ආයතන කැඳවා ඕනෑම කාලයක් සඳහා නැවත කාලය දිගු කරන්න. එහෙම කොහොමද.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment