කොස්ගම දුම්රියට පැන්න පාසල් සිසුවා මරුට

152

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී පෙරේදා (15දා) සවස කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට පැනීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 630/32/1 නෙත්තාරාම පාර කොට්ටාව, පන්නිපිටිය ලිපිනයේ පදිචිව සිටි අබේවික්‍රම හාන්චිආරච්චි උදාර සිතුමිණ නැමැති 15 හැවිරිදි පාසල් දරුවෙකි. පවුලේ එකම පිරිමි දරුවා වන මියගිය අයට වැඩිමහල් සොයුරියන් තිදෙනකු සිටින අතර දෙමාපියන් අතර නිතර ඇතිවන අඩදබර පොලිස් නිරීක්ෂණවලට අනුව මෙම මරණයට හේතුවක් වූවාදැයි පොලිසිය සැක පහළ කර සිටී.

මියගිය සිසුවා සම්බන්ධ පස්චාත් මරණ පරීක්ෂණය ඊයේ (16දා) හෝමාගම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදයකුමාර මහතා පවසයි.

කොට්ටාව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාචන මහතාගේ උපදෙස් මත පො. කො. (91450) ඩබ්ලිව්. පී. එන්. ජයසිංහ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment