කෝටි 15ක රත්‍රං සමග ගුවන් මගියා කටුනායකින් මාට්ටු

76

රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කිලෝ ග්‍රෑම් 07 ක් බරැති රත්තරන් තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගියකු රේගු පරිශ්‍රය පසු කර කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී 07 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි, නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකි. මොහු 07 දින උදෑසන 09.20 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ්. – 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු ගුවන් තොටුපළ තුළ සිදු කෙරෙන සියලු පරීක්ෂණ නිමවා, රේගු පරිශ්‍රයෙන් ද පිටතට පැමිණ, ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මෙම ගුවන් මගියා තම ඉන ප්‍රදේශයේ පාර්සල් 08 ක් ලෙස සකස් කර සඟවා ගෙන තිබූ මෙම රත්තරන් තොගය, කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 400 ක් බර රන් බිස්කට් 42 ක් සහ භාගයක රන් බිස්කට්ටුවකින් ද, කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 600 ක් බර ස්වර්ණාභරණ තොගයකින් ද සමන්විතව තිබූ බව සඳහන් වේ.

මේ වනවිට මෙම රත්තරන් තොගය සහ මේවා නීති විරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගියා ද, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment