කෝටි 3000ක් වංචා කළ ඔන්මැක්ස් ලොක්කන් පවුල් පිටින් රට පනින තැතක් – අනාථවූවන්ගේ සංගමය කියයි

976

ඔන්මැක්ස් ඩී. ටී. ආයතනය තුළ මුදල් ආයෝජනය කළ හාරලක්ෂ පනස් දහසකගේ මුදල් රුපියල් කෝටි 3000 කට වැඩි මුදලක් වංචා කර ආයතන ප්‍රධානීන් රටින් පැන යෑමට උත්සාහ කරමින් සිටින බව ඔන්මැක්ස් ඩී. ටී. අනාථ වූවන්ගේ සංගමයේ කැඳවුම්කරු ඩබ්ලිව්. එස්. දුමින්ද කුමාර මාධ්‍යයට සඳහන් කළේය.

ඔන්මැක්ස් ආයතනයෙහි මුදල් ආයෝජනය කළ ලක්ෂ හතරහමාරක් දෙනා ඒකරාශී කරගනිමින් විරෝධතා පා ගමනකින් කොළඹට ඒමට සූදානම්ව සිටින බව ද ඔහු කීය.

තැන්පත්කරුවන් බොහෝ පිරිසක් ආයතන ප්‍රධානීන් සොයා නිවාසවලට ගිය ද ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

ඔන්මැක්ස් අනාථ වූවන්ගෙන් සංගමය සම කැඳවුම්කරු එච්. ඩී. රුවන් ප්‍රසංග මෙසේ සඳහන් කළේය. ලක්ෂ හතර හමාරක පමණ පිරිසක් මේ විදියට මුදල් ආයෝජනය පෙළඹුණේ හෝටල්වල ප්‍රසිද්ධ දේශන පවත්වමින් ඔවුන් අපිට විශ්වාසෙ ඇති කළ නිසා. ඒ දේශනවලදී කිව්වේ අපෙන් ගන්න මුදල්වලින් ජෝර්ජියාවේ ආයෝජනය කරලා තියනවා. ලෝකේ ඉකොනොමික් සයිට්වල ආයෝජනය කරලා තියෙනවා. ඉස්සරහට ෆුඩ් සිටියේ බඩු ටික ගන්න පුළුවන් පැත්ත හදලයි තියෙන්නේ වැනි කාරණායි. වැලි කාන්තාරවල ප්‍රොජෙක්ට් කරලා තියෙනවා කියලා පෙන්නුවා. රත්තරන් බිස්කට් අරගෙන ලෝකෙ රත්ත්‍රන් මිල අධිකම බැංකුවල තැන්පත් කරලා තියෙනවා කියලා කිව්වා. ක්‍රිප්ටෝ කරන්සිවල ලොකු ඉන්වෙස්මන්ට් කරලා තියනවා කිව්වා. ඉතින් ඒ ඔස්සේ අපි විශ්වාස කළා. මොකද ගොඩක් රාජ්‍ය නිලධාරීන් පවා මේකෙ ආයෝජනය කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම නිලධාරියකු අපිට ඔන්මැක්ස් ඩීටී සල්ලි ආයෝජනය කරන්න එපා කියලා කිව්වේ නෑ.

ඔන්මැක්ස් ඩී ටී අනාථ වූවන්ගේ සංගමයේ ලේකම් ආර් ඒ සචි කුමාර අදහස් දක්වමින් මෙසේ කීවේය. දුක් මහන්සියෙන් හම්බ කර ගත්තු මුදල් ඔන්මැක්ස් ආයතනයේ ආයෝජනය කළේ එකට පස් ගුණයක් ලබාදෙනවා කියපු නිසා. අනාථ වූ හාරලක්ෂ පනස්දහසක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කිසිදු නියෝජිතයකු මේ වන තෙක් වචනයක් හෝ සඳහන් කරලා නෑ. අපේ සල්ලි අරන් රටින් පැන යන තෙක් දේශපාලනඥයින් සිනා සිසී බලා සිටිනවා වෙන්න පුළුවන්.

ඔන්මැක්ස් ඩී ටී ආයතනයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිරමීඩ ජාවාරමක් සිදු කර ගෙන යෑම සම්බන්ධයෙන් නඩු පවරා තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් සාක්ෂි ලබා නොදීම හේතුවෙන් ඔවුන් නිදහස් වූ බව ද හෙතෙම කීය. ඔන්මැක්ස් ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 30 කට වැඩි ප්‍රමාණයක් හා එෆ් සී අයි ඩී යට පෙත්සම් 1480 ක් යොමු කර ඇති පසුබිමක නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් සම්බන්ධයෙන් කනගාටුව පළ කළ කරන බවත් හෙතෙම සඳහන් කළේය. ලබන මස 3 වැනිදා වනවිට එම සමාගමේ ප්‍රධානීන් පවුල් පිටින් රටින් පැන යෑමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මෙම සියලු කටයුතු පිටුපසින් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට සැකයක් ඇති බවත් දුමින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ ගැටලුවට ජනාධිපතිවරයා මැදිහත් වී වංචාවට හසු වූ හාරලක්ෂ පනස් දහසක් දෙනාට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ද දුමින්ද කුමාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කීය.

කෝටි 3000 කට වැඩි මුදලක් තැන්පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් වත්කම් රුපියල් කෝටි 150 ක් පමණක් සොයා ගැනීමත් ගැටලු සහිත බවත් ලක්ෂ 10, 20 ආදී වශයෙන් රු. කෝටි තුන්දහසකට වැඩි මුදලක් තැන්පත් කළ තැන්පත්කරුවන් සඳහා රුපියල් කෝටි 150ක් කෙසේ බෙදන්න ද කියා ප්‍රශ්න කන බවත් ඩබ්ලිව්. ඒ. සාලින්ද මහතා කීවේය.

තිස්සමහාරාම – අමිල සම්පත්

advertistmentadvertistment
advertistmentadvertistment