තලවතුගොඩත් පාතාල වෙඩි – ‘දිලුවා’ ඝාතනය කෙරේ

99

තලවතුගොඩ වැලි පාරේ නිවසකට පෙරේදා (20 දා) රාත්‍රි කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු එම නිවසේ සිටි ‘දිලුවා’ නමැත්තාට වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබේ.

මෙහිදී ඝාතනයට ලක්වී ඇත්තේ 41 හැවිරිදි දිලුක් රංග පෙරේරා හෙවත් ‘දිලුවා’ නමැත්තෙකි.

දිලුවා නමැත්තා තලංගම, කඩුවෙල, අංගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක සම්බාහන ආයතනවලින් කප්පම් මුදල් ලබා ගන්නා අයකු බව හෙළිවී තිබේ.

ඉකුත් 2013 වර්ෂයේදී තවත් පුද්ගලයන් 13 දෙනකු සමග එක්ව පුද්ගලයකු කපා කොටා ඝාතනය කළ බවට දිලුවාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්වී පැමිණ සිටි දිලුවා මෙලෙස ඝාතනයට ලක්වී ඇතැයිද පොලිසිය කියයි.

පෙරේදා රාත්‍රි 9.00 ට පමණ තලංගම වැලි පාරේ පිහිටි නිවසට යතුරුපැදියකින් කඩා වැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු එහි දොර කඩා ඇතුළුවී මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් මොහුට වෙඩි තබා පළාගොස් තිබේ.

වෙඩි ප්‍රහාර 3 ක් දිලුවාගේ හිස ප්‍රදේශයට එල්ලවී තිබූ අතර බරපතළ තුවාල ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළිවී නැති අතර තලංගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

හේමන්ත රන්දුණු සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment