යාපනය විශ්වවිද්‍යාල භූමියේ අනුවේදනීය කතාවක් – පුතු වෙනුවෙන් උපාධි සහතිකය ගන්න ගිය මව ශාලාව දෙවනත් කරමින් විලාප තබයි

162

යාපනය විශ්ව විද්‍යාලයේ මෙවර පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදී සිංහල මවක් මුළු සභා ශාලාවම කම්පාවට පත් කරමින් විලාප තබමින් උපාධි සහතියක් ලබා ගන්නා ලදී.

එවකට යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව වවුනියාව විශ්ව විද්‍යාල මණ්ඩපය පැවැති කාල වකවානුවේදී මෙම මවගේ පුතා වන දිසානායක මුදියන්සේලාගේ හෂාන් සාගර දිසානායක නැමැති අය උපාධි පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව යතුරු පැදි අනතුරකින් මිය ගොස් තිබේ.

ඒ ඔහු ජීවත් වූ අනුරාධපුර, මැදවච්චිය ප්‍රදේශයේදීය. එම විශ්ව විද්‍යාල සිසුවා උපාධි පරීක්ෂණය සමත් වී තිබීම නිසා ඔහු වෙනුවෙන් ප්‍රදානය කළ උපාධි සහතිකය ලබා ගැනීමට මව පැමිණ සිටි අතර සිසුවාගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමගම මව විලාප තබමින් හඬා වැටෙන්නට විය. ඒ මොහොත සියලුම විශ්ව විද්‍යාල සිසුන්ගේ හදවත් කම්පාවට පත් කෙරෙන දසුනක් වූ අතර එම ශිෂ්‍යාගේ සහෝදර සිසුන්ද ඒ අවස්ථාවේදී කදුළු සලමින් හඬා වැටෙනු දක්නට ලැබුණි.

මේ සංවේදී මොහොතේ එම මවට සිය පුතුගේ උපාධි සහතිකය ලබා ගැනීමට බොහෝ වේලාවක් ගත වූ අතර සහතිකය ප්‍රදානය කළ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සී. පද්මනාදන් මහතාද එම මව සමග කතා කොට ඇයගේ දුක වේදනාව තුනී කොට ඇයව අස්වසනු ලැබීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment