කුස තුළ සිටි දරුවා මියයෑමත් සමග මවගේ ගර්භාෂය ඉවත් කළැයි සැමියාගෙන් පැමිණිල්ලක්

84

පැමිණිල්ලක් ලැබී නෑ – කිළිනොච්චි රෝහල් අධිකාරිය

කිළිනොච්චිය රෝහල තුළ සිදු කරන ලද සැත්කමකින් පසුව කුස තුළ සිටි දරුවා මියයෑමත් සමගම කිළිනොච්චිය රෝහලේ ශල්‍යාගාරයේ සිටි වෛද්‍යවරු කිසිදු අවසරයකින් තොරව තම බිරිදගේ ගර්භාෂය ඉවත් කොට ඇති බවට ඇගේ සැමියා කිළිනොච්චිය ධර්මපුරම් පොලිසියට 27 දා පැමිණිලි කොට තිබේ.

රාජතුරෙයි සුරේස් නැමති අය ධර්මපුරම් පොලිසියට කරණ ලද පැමිණිල්ලේ සඳහන් කොට ඇත්තේ දරු ප්‍රසූතියට කාලයකට පෙර සිට තම බිරිඳ එම රෝහලේම වෛද්‍යවරයෙකුගේ සායනයකට යොමු කොට වෛද්‍ය උපදෙස් ලබා ගත් බවයි. එම උපදෙස් වලදී දරුවා ඉතා හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට වෛද්‍යවරයා නිගමනය කොට මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද සහතික වූ බව කාන්තාවගේ ස්වාමියා වෛද්‍යවරයා විසින් ලබා දෙන ලද සායනික වාර්තා පොලිසියට පෙන්වමින් ප්‍රකාශ කොට තිබේ. පසුගිය 26 දා දරුවා ලැබීමට බිරිඳ කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවත් ඊට පසුදින ඇයව සැත්කමකට භාජනය කිරීමෙන් පසුව දරුවා මියගිය බවත් සඳහන් කොට ඇති පැමිණිලිකරු ඒ අතරවාරයේ කිළිනොච්චිය රෝහලේ ශල්‍යාගාරයේ සිටි වෛද්‍යවරු තම බිරිදගේ ගර්භාෂය ඉවත් කළ බවට තමන්ට දැන ගැනීමට ලැබුණු බවද පවසා ඇත. තම බිරිඳට ලැබීමට සිටි පළමු දරුවා මියයාමත් බිරිඳගේ ගර්භාෂය ඉවත් කිරීමත් නිසා තමන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බව පැමිණිලිකරු සඳහන් කොට තිබේ.

මේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට නීති මගින් කටයුතු කොට දඬුවම් ලබාදෙන ලෙසත් ඔහු සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත. මේ ගැන කිළිනොච්චිය රෝහලේ වෛද්‍යවරුන්ගෙන් හා පාලන අධිකාරියෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ රෝහලට මේ වන තුරු එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

කිළිනොච්චිය ධර්මපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment