නියාගම ද්විත්ව ඝාතනයේ තිදෙනෙක් බොරලැස්ගමුවේදී දැලේ

135

කරන්දෙණියේ සුද්දාගේ සහ සමන් කොල්ලාගේ ගෝලයෝ

පිටිගල නියාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක සිටි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයන් තිදෙනකු බොරලැස්ගමුව ප්‍රදේශයේ සැඟවී සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල අපරාධකරුවන් තිදෙනා දකුණේ පාතාලයේ දරුණු අපරාධකරුවන් දෙදෙනකු බව කියන කරන්දෙණියේ සුද්දාගේ සහ සමන් කොල්ලාගේ ගෝලයන් බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

පිටිගල, නියාගම වෙළෙඳ සැලට ප්‍රහාර එල්ල කර පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කළ ඝාතකයා සහ සහායකයා අදාළ ප්‍රහාරය සඳහා රැගෙන ගොස් ඇත්තේ මෙම පාතාල සාමාජිකයන් විසින් බවද විමර්ශනවල දී හෙළි වී ඇත.

පිටිගල නියාගම වෙළෙඳ සැලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ ද ව්‍යාපාරිකයා දිවිගලවා ගත් අතර වෙළෙඳ සැලේ බඩු ගැනීමට පැමිණ සිටි අහිංසක පුද්ගලයෝ දෙදෙනෙක් ඝාතනයට ලක්වූහ.

පිටිගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කරන්දෙණියේ සුද්දා වෙත ලබාදී තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙළෙඳ සැල් හිමියා ඝාතනය කිරීමට පාතාල සාමාජිකයන් ප්‍රහාර එල්ල කර තිබිණි. එහෙත් ව්‍යාපාරිකයා සිය බිරිඳ සමග වෙළෙඳ සැලෙන් පැනගොස් දිවි ගලවා ගත්තේය.

මෙම ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයා සහ ඔහුගේ සහායකයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ඩුබායිහි සැඟවී සිටින කරන්දෙණියේ සුද්දා සහ සමන් කොල්ලාගේ නියෝග මත මෙම පාතාල අපරාධකරුවන් පිටිගල ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සැලසුමට සම්බන්ධ වී සිට ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙය වීමෙන් දකුණු පළාත් පාතාල මර්දන විශේෂ ඒකකය මගින් මෙම පාතාල සාමාජිකයන් තිදෙනා අත්අඩංගුවය ගෙන තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment