පාර්ලිමේන්තු සේවිකාවන් දෙදෙනකුට අතවර කළැයි ඇල්ලූ සේවකයන් 3 දෙනාට ඇප

254

පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී එහි සේවිකාවන් දෙදෙනකු ලිංගික අතවරයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයන් තිදෙනා ඊයේ (30දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරිනු ලැබූහ.

පොලිස්තිවරයාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ අධීක්‍ෂණයෙන් මසකට ආසන්න කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් තිදෙනා පෙරේදා (29 දා) අත්අඩංගුවට ගන්නා ලදී. අතවරයට ලක්වූ සේවිකාවන් දෙදෙනා ද එම සේවකයන් සමග එකට රාජකාරි කරන අය බව පොලිසිය පවසයි.

සැකකාර සේවකයන් තිදෙනාම මෙම සේවිකාවන්ට ලිංගික අතවර කිරීම සඳහා සම්බන්ධ වී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

එක් සේවිකාවක් විවාහ වීමෙන් පසු රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ ඇය සප්‍රයිස් කරන බව කියමින් රෙද්දකින් ඇය වසා දමා ඇගේ ශරීරය මිරිකමින් හිංසනයට ලක්කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙම සිද්ධිය වී ඇත්තේ ඉකුත් 2021 වර්ෂයේදීය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත වාර්තාවක් ලබාදී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට ද දැනුම් දුන් අතර ඒ අනුව කළ විමර්ශනයේදී සැකකරුවන් කොටුවී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පාර්ලිමේන්තුවේ කනිෂ්ඨ සේවකයන්ය. අනෙක් සේවිකාව ලිංගික හිංසනයට ලක්කර ඇත්තේ පාර්ලිමේන්තු සැසිවාරයන් නොපැවැත්වෙන අවස්ථා කීපයකදී බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment