පිටරටින් එන කම්හල් ආයෝජන කලාපවල පමණයි

121

විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා ආයෝජන සැකසුම් කලාප ඇතුළත පමණක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

විදෙස් ආයෝජකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළඹ තිබේ.

කටාන හල්පේ කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක හිමිකරුවකු වන ඕමාන් ජාතිකයකුට පහරදීම වැනි සිද්ධි නැවත ඇතිනොවීම පිණිස රජය මෙම පියවර ගෙන තිබේ. රටේ ස්ථාන කිහිපයක ආයෝජන කලාප කිහිපයක් අලුතින් පිහිටුවීමට නියමිතය. මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන මෙවැනි ආයෝජන කලාප කිහිපයක් පිහිටුවීම සඳහා ස්ථානීය පරීක්‍ෂණ කටයුතු සිදුකර ඇති බව රජය පවසයි. විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා මෙරටට පැමිණීම මුල් සමයේදී ආයෝජන සැකසුම් කලාපවල පමණක් ඒවා ස්ථාපිත කෙරුණු නමුත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ එම කම්හල් පිටස්තර ස්ථානවලත් ස්ථාපිත කෙරිණි.

ආයෝජන කලාප ඇතුළත වෙනම ආරක්‍ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන හෙයින් පිටස්තර කිසිවකුටත් ආයෝජකයන්ට බලපෑම් කිරීමට නොහැකි බව ද රජයට පෙනී ගොස් ඇත.

මීට අමතරව අපනයන සැකසුම් කලාපවලින් පිට පිහිටි විදෙස් ආයෝජන කර්මාන්ත ශාලාවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් යමෙකුගෙන් අයුතු බලපෑමක් එල්ල වුවහොත් එයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment