සාකච්ඡා අසාර්ථකයි : වර්ජනය දිගටම…. රෝගීහු දෙස් දෙවොල් තබති

363

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයා ධනාත්මකව පියවර ගත්ත ද ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් ප‍්‍රකාශ කිරීමට නොහැකිවීම නිසා සිය වැඩ වර්ජනය දිගටම පවත්වාගෙන යන බව පරිපූරක වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් රවි කුමුදේශ් මහතා පැවසීය. එබැවින් ජනාධිපතිවරයා මේ සඳහා මැදිහත් වී කඩිනමින් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගතයුතු යැයිද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග ඊයේ (08දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වෘත්තීය සමිති නිලධාරීන් පැවැති සාකච්ඡුා සම්බන්ධව අදහස් දක්වමින් රවි කුමුදේශ් මහතා මේ බැව් පැවසීය.

ඇතැම් විසඳුම් සඳහා ඇමැතිවරයාගේ සීමාවේ සිට කඩිනමින් විසඳුම් ලබාදීමට නොහැකි බවත් එනිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට මැදිහත්ව කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගතයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉල්ලීම් 09ක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීන් 18ක් ක‍්‍රියාත්මක කර ඇති මෙම දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය ඊයේ දෙවැනි දිනටත් ක‍්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ සායනවලින් බෙහෙත් නිකුත් කිරීම, රසායනාගාර/විකිරණ පරීක්ෂණ, රෝගී සත්කාර කටයුතු ඇතුළු රෝහල් සේවාවන් රැසක් අඩාළව පැවතිණි.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල බාහිර හා අභ්‍යන්තර රෝගීන් විශාල පිරිසක් ඊයේ ද දැඩි අසීරුතාවකට මුහුණ පා සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. වර්ජනයේ යෙදී සිටින ඖෂධවේදීන් විසින් රජයේ රෝහල් සායනවල බෙහෙත් නිකුත් කරන කවුළු වසා දමා තිබීම හේතුවෙන් රෝගීන් විශාල පිරිසකට ඊයේ දිනයේ ද බෙහෙත් ලබා ගැනීමට නොහැකි වී තිබූ අතර ඔවුහු රෝගීන් බිල්ලට දෙමින් දියත් කර ඇති මෙම සෞඛ්‍ය වර්ජනය හෙළා දකිමින් වර්ජකයන්ට දෙස් දෙවොල් තියමින් සිය නිවෙස්වලට ගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

රෝගීන් අසීරුතාවට පත් කරන මෙවැනි වර්ජන සිදු නොකරන ලෙස රෝගීහු වර්ජකයන්ගෙන් ඉල්ලීම් කරති. වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් බාහිර රෝගී අංශ සායනවල බෙහෙත් නිකුත් කරනු ලබන කවුළු වසා දමා තිබීම නිසා බාහිර රෝගීන්ට ළඟම පිහිටි රජයේ ඔසුසල්වලින් අවශ්‍ය බෙහෙත් නොමිලයේ ලබා ගැනීමට රජයේ ප‍්‍රධාන රෝහල්වල බලධාරීන් විසින් පහසුකම් සලසා දී තිබුණි. එම පහසුකම ඔසුසල් නොමැති ප‍්‍රදේශවල පිහිටි රෝහල්වල බාහිර රෝගීන්ට නොලැබීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට මුහුණ පා සිටියහ.

වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල ලේ, මුත‍්‍රා ඇතුළු රසායනාගාර පරීක්ෂණ හා එක්ස්රේ, සී.ටී. ස්කෑන් /එම්.ආර්.අයි. ඇතුළු විකිරණ පරීක්ෂණ ද ඇනහිට තිබීම නිසා එම පරීක්ෂණ සිදු කරගැනීමට අවශ්‍ය හදිසි නොවන රෝගීන්ට ඒවා සිය පෞද්ගලික වියදමින් පිටතින් සිදු කරගැනීමට සිදුව තිබෙන බව රෝහල් අංශ කියයි.

මෙම වර්ජනය නිසා රෝහල්වල ඊ.සී.ජී.සහ ඊ.ඊ.ජී. යන රෝග පරීක්ෂණ මෙන්ම පීසීආර් හා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ද ඊයේ දෙවැනි දිනටත් ඇනහිට තිබිණි.

මේ අතර වර්ජිත සෞඛ්‍ය වෘත්තිකයෝ ඊයේ උදෑසන කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනින් ගොස් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වූහ.

ඒමන්ති මාරඹේ සහ උපාලි ද සේරම් ඡායාරූපය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment