පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය 29 දා සිට

99

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන 29 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21දා) නියම කළේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් හතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණි අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී විභාගයට ගැනීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නොමැතිව සෙසු සිව් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එකී පෙත්සම් කැඳවූ අතර පෙර නියම කර ඇති පරිදි පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ස්ථාපනය කර පෙත්සම් විභාගය ලබන 29 වැනිදා ආරම්භ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සියලු පාර්ශ්වවලට දැනුම් දුන්නේය. ඒ අනුව එදින විභාගය ආරම්භ කිරීමටත්, ලබන 30 වැනිදා මෙන්ම දෙසැම්බර් මස මුල් සතියේ දින කිහිපයක් අඛණ්ඩව විභාගය පැවැත්වීමටත් සියලු පාර්ශ්වවල එකඟතාවෙන් අධිකරණය දින නියම කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලයේ අධිපති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment