මැරයෝ බණ දෙසති පොලිසිය අසා සිටී

1511

ඉදිරි දින තුන තුළ තෙල් නිකුත් නො කරන බැවින් තෙල් පෝළිම්වලට නොයන්නැයි තෙල් ඇමැති කංචන විජේසේකර දිනපතාම වාගේ මාධ්‍යයට කියයි. කංචන මේ කතාව කියන්නේ සති තුනක පමණ සිට ය. මේ අනුව මේ රටේ ජනතාවට තෙල් ලබා ගැනීමට කවදාවත් හැකිවන්නේ නැත. මිනිස්සු දිනපතා ම තෙල් පෝළිම්වලට යති. පැය 24 ම එහි ළඟිති. දවස් තුනකට පමණ පසු ඔවුන්ගේ වාහන ෂෙඩ් එකේ පොම්පය ආසන්නයට එයි. එවිටම එක්කෝ තෙල් ඉවර බව ෂෙඩ් එක විසින් නිවේදනය කරනු ලැබේ. නො එසේ නම් දැනට තෙල් දීම නවත්වන බව ෂෙඩ් එකේ ගෝලයෝ කියති. දවස් තුන හතරක් තෙල් පෝළිමේ සිටි ජනයා මාරාවේශ වන්නේ එවියට. ඊළඟට ෂෙඩ් එකේ ඉන්න පොම්පකරුවා මරාගෙන කෑමට ඔවුහු සූදානම් වෙති. එවිට පොම්පකරුවාගේ ආරක්‍ෂාවට ත්‍රිවිධ හමුදාවම පැමිණෙයි. ඊළඟට මිනිස්සුත් පොලිසියත් ගහගනිති. අතුරුගිරියේ පෙට්‍රල් ෂෙඩ් එකේදී මෙවැනි දෙයක්  පසුගියදා සිදුවිය. ෂෙඩ් එකේ හටගත් භයානක කලබැගෑනියට මැදිහත් වූ අතුරුගිරිය පොලිසියට ගුටිකෑමට සිදු වූ අතර, පොලිස් නිලධාරීන් හයදෙනකුට රෝහල්ගත වීමට සිදුවිය. පෙට්‍රල් ෂෙඩ් ඉදිරිපිට පොලිසිය හැසිරෙන ආකාරය පමණ ඉක්මවා ගොස් තිබේ. මේ රටේ වැඩිදෙනා දන්නා වැදගත්ම කාරණය වන්නේ මේ වෙලාවේදී මේ රටේ පෙට්‍රල් ෂෙඩ් වැඩිහරියක බලය මැරයන් අතට ගොස් ඇති බවය. ඒවා දේශපාලන සහයෝගය ලබන මැර කණ්ඩායම් වෙති. එක්තරා පෙට්‍රල් ෂෙඩ් එකකදී අරගලයක් යන අතර පිස්තෝලයක් ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියකු කීවේ “රඹුක්කන සිද්ධිය ඇතිකර නොගන්නා” ලෙස ය. රඹුක්කන සිද්ධියේදී අවම බලය පාවිච්චි කරනවා යැයි කියමින් දේශපාලන විරුද්ධවාදියකුට පොලිසිය විසින් වෙඩිතබන ලදී. පෙර කී නිලධාරියා අදහස් කළේ වැඩිය දැඟලුවොත් රඹුක්කනදී වගේම වෙඩි කෑමට සිදුවන බවය. එහෙත් තෙල් නැතිව නන්නත්තාර වී සිටින අසරණ මිනිසුන් ඉදිරියේදී එවැනි බූරු පාට් දැමීමට උත්සාහ කරන පොලිසියට මේ වන විට පෙට්‍රල් ෂෙඩ් වැඩිහරියක බලය අතට ගෙන තිබෙන පාතාලයේ බලය මැඬපැවැත්වීමට නොහැක. පොලිසිය හැමදාම පාට් දැම්මේ දුර්වල, දුප්පත් ජනතාවටය. මැරවරයා හෝ පාතාල නායකයා ඉදිරියට ආ සැනින් පොලිසිය සතු බැටන් පොලු, පිස්තෝල, ටී. 56 යනාදිය ශීල ව්‍යාපාර පවත්වන්නට පටන් ගනී. එතැන් සිට පාතාලය බණ දෙසන අතර පොලිසිය කරන්නේ එය අසා සිටීමය.

 මේ රටේ එදිනෙදා ‘කෑෂ්’ එහා මෙහා වන හැම බිස්නස් එකක්ම මේ වන විට පාතාලය අතට ගොස් තිබේ. උදාහරණයක් වශයෙන් මේ රටේ ප්‍රයිවට් බස් ව්‍යාපාරයෙන් 75% ක් ම මෙහෙයවන්නේ පාතාල දාමරිකයන් විසිනි. බස් එක ගමනාරම්භ කරන වේලාව, එයට නැගිය යුතු මඟීන් ප්‍රමාණය යනාදිය පාතාල නිර්දේශය මත කිරීමට රියැදුරන්ට සිදු වී ඇති අතර ඒ සඳහා රුපියල් 500, 1000, 2000 වශයෙන් එක් බසයක් වෙනුවෙන් පාතාල නියෝජිතයන්ට ලබාදීමට ප්‍රයිවට් බස් රියැදුරාට සිදුව තිබේ. මේ රටේ ප්‍රයිවට් බස් වැඩිහරියක භාවිතය තුට්ටු දෙකටත් තවත් සත කාලක් අඩුය. මේ වන විට දුර ගමන් සේවාවල නොයෙදෙන කෙටි ගමන් වාර සිදුකරන විශාල ප්‍රමාණයේ ප්‍රයිවට් බස්වල කොන්දොස්තරලා කීපදෙනෙක් සිටිති. පළමුවැන්නා බස් මුදලාලි විසින් පත් කළ කොන්දොස්තරය. දෙවැන්නා ‘අයියා’ කොන්දොස්තර ය. ඊළඟ එකා ‘මල්ලි’ කොන්දොස්තර ය. හතරවැන්නා මචං කොන්දොස්තර ය. මේ කොන්දොස්තරලා සියලුම දෙනා බසය ලෝඩ් කිරීමෙහි නියුක්ත වෙති. ඉන් පසු බසය පිටත්වීමට කලින් ප්‍රධාන කොන්දොස්තරගෙන් ජරාව කති. ප්‍රධාන කොන්දොස්තර හැරුණු විට පෙර කී ඒ සියලු දෙනා පාතාලය විසින් බස්පළවල්වලට යොදවන ලද පාතාල නියෝජිතයන් ය. දැනට පෙට්‍රල් ෂෙඩ්වල තෙල් ගැසීමේදී සිදුවන්නේ මෙයමයි. මිනිසුන් දවස් තුන හතර තෙල්ගසා ගැනීම සඳහා පෝළිමේ බලා සිටියදී ෂෙඩ් එකේ පොම්පය අසල සිටින මැරයන් හතරපස් දෙනෙක් තම තමන්ට අවශ්‍ය මෝටර් රථවලට ඉන්ධන පොම්ප කරවති. කාර් එකක ෆුල් ටෑන්ක් එකක් සඳහා රුපියල් 2000 ක් ද, බස් එකක ෆුල් ටෑන්ක් එකක් සඳහා රුපියල් 5000 ක් ද, අයකරනු ලැබේ. මේ මුදලින් 10% ක් පොම්පකරුට ලැබේ. මේ ආකාරයට ඇතැම් තෙල් පෝළිමක සිටින පාතාල ප්‍රජාව රුපියල් ලක්‍ෂ 5 කට වැඩි ආදායමක් දිනකට උපයනු ලැබේ. එයින් රුපියල් පනස්දාහක් පොම්පකරුට යෑම ගැන අපගේ විරෝධයක් නැත. පොම්පකරු යනු නිතරම අහිංසක දුප්පත් කොල්ලෙකි. පෙට්‍රල් ෂෙඩ්වල පඩිය ද ඉතා අඩුය. මේ පිළිබඳ ආසන්නතම උදාහරණය මාවරමණ්ඩියේ පෙට්‍රල් ෂෙඩ් එක ය. මේ මොහොතේ ඔබ එහි ගියත් ෂෙඩ් එක පාතාල මැරයන් විසින් පාලනය කරන හැටි ඔබට බලාගැනීමට හැකිය. මෙවැනි සිදුවීම් දෙකක් මතුගම පැලවත්තේ ෂෙඩ් එකේදී සහ ආරච්චිකට්ටුවේ ෂෙඩ් එකේදී සිදුවිය. සර්පයා ලෙස හැඳින්වෙන ප්‍රසිද්ධ මන්ත්‍රීගේ සහෝදරයා විසින් පැලවත්තේ ෂෙඩ් එකට පැන සිය හිතවතුන්ගේ යාන වාහනවලට තෙල් ගැසීම නිසා ලොකු ආරවුලක් ඇති විය. එසේම ආරච්චිකට්ටුවේ ෂෙඩ් එකට තෙල් ගැසීමට පැමිණි යූඇන්පී කාරයන්ට තෙල් නොදීම පිණිස ජගත් සමන්ත නමැති දේශපාලනඥයා ඉදිරිපත් වී හතර අතේ නෙළන්නට පටන් ගත්තේය. ජගත් සමන්ත යනු පසුගියදා රිමාන්ඩ් කරන ලද පොහොට්ටු මන්ත්‍රී සනත් නිශාන්තගේ ශික්‍ෂාකාමී සහෝදරයා ය. අවසන් ඵලයේදී මේ සියලු දෙනාම පාතාලයට සම්බන්ධ අය ලෙස නිර්වචනය කිරීමට අපට සිදුවේ.

 තෙල් පෝළිමේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට බැරි නම් ඊළඟ ප්‍රතිඵලය ලෙස හටගැනීමට තිබෙන දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් රටම ගිනි ගැනීමට ඉඩ තිබේ. ඒ කෙසේ ද යන ක්‍රමවේදය අපි මෙහිදී විස්තර නොකරමු. එසේ විස්තර කළහොත් ආණ්ඩුව කියනු ඇත්තේ සිවිල් යුද තත්ත්වයක් සඳහා ජනතාව පෙළඹවීමට අප කටයුතු කළ බව ය. අප මේ උත්සාහ කරන්නේ සිවිල් යුද්ධයකින් රට බේරා ගැනීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment