පියාගේ කඩය ඉදිරිපස සෙල්ලම් කරමින් සිටියදී… අධික වේගයෙන් ආ දළු ලොරි මාරයා පුංචි පුතාගේ දිවි සොරාගනී

595

නොහික්මුණු රියැදුරන් නිසා මේ පාරේ මරණ රැසක් සිදුවුණා – ගම්වැසියෝ කියති

පැලවත්ත යට්ටපාත 9 කනුව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 6ක දරුවෙක් මිය ගිය බව තිනියාවල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ යට්ටපාත 9 කනුව ප්‍රදේශයේ පදිංචි ආදිත්‍ය පුන්සර නමැති වයස අවු. 6 ක පිරිමි දරුවෙකි. මෙම අනතුර සවස 5.10 පමණ සිදූවී ඇති අතර ඔහු ඊයේ (8දා) දිනයේ විධිමත් අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර පාසලක් වෙත ඇතුළු වීමට සූදානමින් සිට ඇති බව පොලීසිය පවසයි.

පැලවත්ත නෙළුව මාර්ගයේ 9 කණුව ස්ථානයේ තම නිවසේ පියා විසින් පවත්වාගෙන යනු ලබන ටයර් කඩයේ ඉදිරිපස පුටුවක් අසල සෙල්ලම් කරමින් සිට ඇත. පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට තේ දළු රැගෙන යමින් තිබූ කුඩා ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් පාරේ ප්‍රතිවිරුද්ධ දෙස සිට අඩි 25ක් පමණ ඈතින් ඇති කඩය දෙසට ධාවනය වී ලෙරි රථය කැරකී පෙරලීමෙන් අනතුර සිදුවී ඇත. එම ස්ථානයේ සිටි සිඟිති දරුවාගේ එහි වැදී විසිවී ඇත. දරුවාගේ පියා සහ මව විසින් මීගහතැන්න රෝහලට රැගෙන ගියත් දරුවා ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සිදුවූ ලොරි රථයේ රියදුරා සහ සහායක ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නැති බව පොලිසිය පවසයි. මෙම දෙදෙනාගෙන් එක් අයෙකු අද (9දා) දිනයේ මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

මේ පිළිබඳව දේශවාසීන් චෝදනා කරන්නේ ප.ව. 2.00 පසු තේ දළු රැගත් යන ලොරි රථ අධික වේගයෙන් බෑවුම් සහ වංගු සහිත පැලවත්ත නෙළුව මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් මේ දක්වා රිය අනතුරුවලින් පමණක් මරණ හතකට ආසන්න ප්‍රමාණයක් සිදු වී ඇති අතර තේ දළු රැගෙන යන ලොරි රථවලට නියාමනයක් අවශ්‍ය බවයි.

මේ පිළිබඳ තින්නියාවල පොලීස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි පො.සැ. 10721 ධම්මික, පො.සැ.70096 මදුෂන්ක, පො.කො.21830 බණ්ඩාර යන නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ගල්පාත චන්දන පෙරේරා, නෙළුව- සිරිසේන ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment