බ්‍රසීල පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි පරදිති – ප්‍රංශ – ක්‍රෝඒෂියා මොරොක්කෝ මෙසීලා දිනති

434

අප්‍රිකානු කලාපයේ රටක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් මොරොක්කෝව ද, ප්‍රංශය හා ක්‍රොඒෂියාව අඛණ්ඩව දෙවැනි වරට සහ ආර්ජන්ටිනාව හයවෙනි වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබමින් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (11 වැනිදා) අලුයම කටාර් හිදී නිමාවිය.

පාපන්දු ලෝක කුසලාන තරග ඉතිහාසයේ ප්‍රබලම කණ්ඩායම ලෙස සැලකෙන පස්වතාවක් එම ශූරතාවයට හිමිකම් කියන ප්‍රබල බ්‍රසීලය සිය අර්ධ අවසන් පූර්ව තරගයේ දී පසුගිය වර අනුශූරතාව හිමිකර ගත් ක්‍රොඒෂියාව හමුවේ පරාජයට පත් විය.

බ්‍රසීල පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි පරදිති - ප්‍රංශ - ක්‍රෝඒෂියා මොරොක්කෝ මෙසීලා දිනති

ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයේදී පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයට හිමිකම් කියූ මොරොක්කෝව හමුවේ පරාජය විය.

එක් වතාවක් පාපන්දු ලෝක ශූරතාවයත් දෙවතාවක් එහි අනුශූරතාවයත් දිනාගත් එංගලන්ත කණ්ඩායම ලෝක ශූර ප්‍රංශය හමුවේ පරාජයට පත්වීමෙන් අවසන් පූර්ව තරගවලට පිවිසීමේ අවස්ථාව අහිමි කර ගත්තේය.

මෙතෙක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියන්හි තෙවරක් අනුශූරතාව හිමිකර ගෙන ඇති නෙදර්ලන්තය මෙවර පාපන්දු ලෝක කුසලාන ගමනද අර්ධ අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව හමුවේ පරාජය වීමෙන් නිමා විය.

මෙම තරග හතරම ඉතා උණුසුම් වූ අතර ඉන් තරග දෙකක විසඳුම තීරණය වූයේ අතිරේක කාලයෙන් පසුවද ලබාදුන් දඬුවම් පහර මත ප්‍රතිඵල ලබා ගනිමිනි.

ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර තරගය ඒ අතරෙන් වඩාත් උද්වේගකර එකක් වූ අතර නියමිත කාලය සහ අතිරේක කාලයේ දී කණ්ඩායම් දෙකේම ගෝල් සංඛ්‍යාව 2ක් බැගින් සටහන් විය.

අනතුරුව ලබා දුන් දඬුවම් පහර අවස්ථා මතින් 4 -3ක් ලෙස ජය ගැනීමට ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය.

බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර තරගය ද නියමිත කාලය සහ අතිරේක කාලයෙන් පසුවද ගෝල් 1-1ක සම තත්ත්වයක පැවතීම මත ලබා දුන් දඬුවම් පහර මගින් ජයග්‍රහණය ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත් වූයේය.

මොරොක්කෝව සහ පෘතුගාලය අතර තරගය 1-0ක් ලෙස ජය ගැනීමට මොරොක්කෝව සමත් වූ අතර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මොරොක්කෝව මීට පෙර දක්වා තිබූ හොඳම දස්කම වූයේ 1966 වසරේ දී අවසන් කණ්ඩායම් 16 අතරට පත් වීම පමණි.

එමෙන්ම ඔවුන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ හයවෙනි අවස්ථාව මෙය වේ.

තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 14 වැනිදා සහ 15 වැනිදා දිනවල පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment