ශ්‍රී ලාංකීය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව දියත් කරන ‘හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම’ – යොවුන් තාක්ෂණික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියට සහභාගි වීම සඳහා සිසුන් 100 දෙනකු පමණ තෝරා ගෙන ඇත. සර්වෝදය ව්‍යාපාරයේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනික අංශය වන සර්වෝදය ෆියුෂන් හා එක්ව ක්‍රියාත්මක කරන මේ වැඩසටහනේ අරමුණ වන්නේ මෙරට ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් යොවුන් පරපුර ඩිජිටල් තාක්ෂණ දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීමයි.

සිය ආයතනික සමාජ වගකීමක් ලෙස, අනාගත පරපුර තොරතුරු තාක්ෂණික දැනුමින් බලගැන්වීමට සන්නද්ධ කිරීමට අවශ්‍ය සවිබලය ලබාදීම සඳහා වන මහජන බැංකුවේ කැපවීම මේ තුළින් තහවුරු කෙරේ. මෙම වැඩසටහන සඳහා ලැබුණු අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් අතරින් සියදෙනකු තෝරාගැනුණ අතර, මාර්තු හා අප්‍රේල් මාසවල දී උතුරු මැද, වයඹ හා බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක තෝරා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය.

‘හෙට දිනයේ නවෝත්පාදකයන් සවිබල ගැන්වීම : යොවුන් තාක්ෂණික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය’ මගින් තරුණ පිරිස ඩිජිටල් වශයෙන් බලගැන්වීම සඳහා, පරිගණක විද්‍යාවේ විවිධ විෂයන් ආවරණය වන පරිදි පරිගණක විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව :(DICS) දියත් කරයි. එය හැදෑරීමට අවුරුදු 15-19 ත් අතර වයසේ පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව 100ක් පිරිනැමෙන අතර, Programming, Web Development, Networking, Graphics හා Computer Mathematics ආදී විෂයන් මෙම පාඨමාලාව මගින් ආවරණය කෙරේ. මාස නවයක කාලයකින් සමන්විත මෙම ඩිප්ලෝමාව ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ level) හා සමවන පාඨමාලාවක් වන අතරල මෙය සාර්ථකව නිමකරන සිසු සිසුවියන්ට තෝරාගත් උසස් අධ්‍යාපන ආයතනවල උපාධි මට්ටම කරා හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම වැඩසටහන යටතේ දිවයින පුරා මහජන බැංකු ශාඛා හරහා ප්‍රතිලාභීන් තෝරා DICS ඩිප්ලෝමා වැඩසටහන ආරම්භ කිරීම පළමු වසරේදී සිදුවන අතර, එම වසර අවසානයේදී පැවැත්වෙන Hackathon වැඩසටහනේදී හොඳම දක්ෂතාවන් දක්වන සිසුන් තෝරා ඔවුන් උසස් අධ්‍යාපනය සඳහා යොමු කරමින් ශිෂ්‍යත්ව පිරිනැමීම දෙවැනි වසරේදී සිදුකෙරේ.

1961 අංක 29 දරණ මහජන බැංකු පනත යටතේ ස්ථාපිත කළ මහජන බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවකි. මේ වන විට මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ට්‍රිලියන 2.5ක ඒකාබද්ධ තැන්පතුවලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747ක ජාලය සමගින් මිලියන 14.7 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.

advertistmentadvertistment
advertistmentadvertistment