මැණික් මුදලාලිගේ නිවසින් කෝටියක ගල් 3ක් ඉස්සූ එකම පවුලේ 3ක් ඇතුළු 5ක් දැලේ

624

වැල්ලවත්තේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් රුපියල් එක්කෝටි පන්ලක්‍ෂයකට අධික වටිනා මැණික් ගල් තුනක් සොරකම් කළ එකම පවුලේ පියා, මව සහ පුතා සමඟ මැණික් ගල් අලෙවි කළ හා ළඟ තබාගත් තවත් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු පෙරේදා (05 දා) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පියා තලවකැලේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන අයකු වන අතර, ඔහු එම ව්‍යාපාරිකයාගේ නිවසේ සේවයේ නිරතව සිටි අයෙකි. මව 65 හැවිරිදි වියේ සහ පුතා 32 හැවිරිදි වියේ පසුවන අතර මැණික් ගල් අලෙවි කළ හා ළඟ තබාගත් දෙදෙනා අවුරුදු 40 හා 44 වියේ පසුවෙති.

මෙම සොරකම පසුගිය ජූලි 15 ත් 18 ත් අතර කාලයේ සිදු වී ඇති බවට ව්‍යාපාරිකයා විසින් පසුගිය 31 වැනිදා වැල්ලවත්ත පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ දැක් වේ. ඒ පිළිබඳව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වමින් සිටියදී තලවකැලේ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු මැණික් ගල් දෙකක් සමඟ කොටුකර ගෙන ඇත.

තවදුරටත් සිදුකළ විමර්ශනයට අනුව එක් මැණික් ගලක් මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්‍ෂ 14 කට විකුණා ලබාගත් මුදල්වලින් රුපියල් ්ලක්‍ෂ 7 ක් ද, සමඟ සැකකාර පියා, මව සහ පුතා අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුභාෂ් කහඳවල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හේෂාන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් සුරේන්‍ද්‍ර (66211), පොලිස් කොස්තාපල්වරුන් වන සමරවීර (52358), චන්දන (77511), චතුරංග (102965) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment