මොරොක්කෝ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

315

ඉකුත් සිකුරාදා (08දා) දිනයේ වසර 60ක පමණ කාලයකට පසු මොරොක්කෝවේ සිදු වූ දරුණුතම භූමිකම්පාවෙන් මිය ගිය පිරිස ඊයේ (11දා ) උදෑසන වන විට 2122 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

රිච්ටර් මාපකයේ 6.8ක් වශයෙන් සටහන් වූ මෙම භූමිකම්පාව හේතුවෙන් තවත් 2421 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. භූමිකම්පාවෙන් මියගිය පිරිස තවත් ඉහළ යනු ඇතැයි සහන කටයුතුවල නිරතව සිටින කණ්ඩායම් පවසයි. මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූ උසැති ඇට්ලස් කඳුවැටිවලට පහළින් පිහිටි ඇතැම් දුෂ්කර ගම්මානවල වෙසෙන බොහෝ ගම්වැසියන් මිය ගොස් ඇති බව වාර්තා වී ඇති අතර භූමිකම්පාවෙන් එකවර විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කිරීම රෝහල්වලට දැඩි පීඩනයක් ගෙන දෙන්නක් වී තිබේ.

භුමිකම්පාවත් සමගම කඩා වැටුණු ගල් හා පස් කඳු හේතුවෙන් මාර්ග අවහිර වී තිබීම නිසා පස් කඳුවලට යටවී සිටින පිරිස් මුදාගැනීම සඳහා බරැති උපකරණ මාර්ග හරහා ගෙන ඒම ඇනහිට තිබේ. මේ අතර මොරොක්කෝ රාජ්‍යයේ සිදු වූ භූමිකම්පාව හේතුවෙන් ගුරුවරුන් 07 දෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර පාසල් 585කට හානි සිදුව තිබේ. මේ හේතුවෙන් භූමිකම්පාව සිදු වූ කලාපයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මොරොක්කෝවේ භූමිකම්පාවෙන් විපතට පත් වුවන් සඳහා ඊයේ වන විට එංගලන්තය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ස්පාඤ්ඤය විසින් ආධාර සපයා තිබූ බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment