රජීව් ඝාතකයෝ ගුවන්තොටේදී…. – පැය 6ක් සී.අයි.ඩී.යට උත්තර බඳිති – පසුව යාපනයට යති

1403

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන එරට දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳිමින් සිටිය දී පසුව නිදහස් කර මෙරටට පිටුවහල් කළ ද්‍රවිඩ ජාතිකයන් තිදෙනා ඊයේ මෙරටට පැමිණීමෙන් පසු පැය 06 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්හ. පසුව පස්වරු 05.15 ට පමණ ඔවුන් මුදා හැරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව ඔවුහු තිදෙනා වෑන් රථ තුනකින් යාපනය සිය ගම් ප්‍රදේශ බලා පිටත්ව ගියහ.ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා 1991.05.21 දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 33 ක සිර දඬුවම් විඳ පසුව නිදහස ලබා මොවුහු මෙසේ ඊයේ පැමිණියහ. ඔවුන් අතර 62 හැවිරිදි ශන්මුගලිංගම් ජයකුමාර , 53 හැවිරිදි වෙන්ටි්‍රවල් ශ්‍රී කරන් හෙවත් මුරුගන් සහ 53 හැවිරිදි බාලසුන්දරම් රොබට් පයස් යන අය සිටියහ. ඔවුන් සමග ඉන්දියාවේ නීතිඥවරයෙක් ද පැමිණ සිටියේය.

මොවුන් තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර මත මෙරටට එවා තිබුණි. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයට සම්බන්ධ වීමේ චෝදනාව මත වසර 33 ක් සිර දඬුවම් විඳීමෙන් පසුව 2022 නොවැම්බර් මස 11 දින නිදහස ලබා තමිල්නාඩු ප්‍රාන්තයේ ටි්‍රචිනාපොලි විශේෂ කඳවුරේ ද රඳවා තබා ගැනීමෙන් පසුව 04/03 දින මෙසේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබේ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment