රුසියාවේ පිරවුම්හලක ගින්නෙන් 30ක් මරුට

200

දකුණු දිග රුසියාවට අයත් ඩගෙස්ටන් ජනරජයේ පිහිටි පෙට්‍රල් පිරවුම්හලක පෙරේදා (14දා) හටගත් පිපිරීමක් හා ගින්නක් හේතුවෙන් කුඩා ළමුන් 03 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. වර්ග මීටර් 600ක පමණ (වර්ග අඩි 6460ක් පමණ) භූමි භාගයක් තුළ පැතිර ගොස් ඇති මෙම ගින්න හේතුවෙන් අදාළ පිරවුම්හලෙහි තවත් පිපිරීම් සිදු විය හැකි බව බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.

පෙරේදා සවස හටගෙන ඇති මෙම පිපිරීම් හා ගින්න හේතුවෙන් විපතට පත් වූවන් මුදාගැනීම සඳහා හදිසි ආපදා සහන සේවකයන් 260 දෙනෙකු සේවයේ යොදවා ඇති අතර ගින්නට හසු වීමෙන් බරපතළ තුවාල ලැබූවන් මොස්කව් නගරයේ පිහිටි රෝහල් වෙත ගෙන යෑම සඳහා ගුවන්යානයක්ද මෙහෙයුම් කටයුතු සඳහා යොදවාගැනීමට රජය විසින් පියවර ගෙන තිබේ. ඩගෙස්ටන් ජනරජයේ අගනුවර වන ‘මැක්හච්කෙලා’ නගරයේ පිහිටි පෙට්‍රල් පිරවුම්හලක මෙම පිපිරීම හා ගින්න හටගෙන ඇති අතර එය ඇති වීමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මේ සම්බන්ධයෙන් සාපරාධී චෝදනා යටතේ පරීක්ෂණ පවත්වන රුසියානු විමර්ශන කණ්ඩායම විසින් මෙතෙක් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව අදාළ ගින්න හටගෙන ඇත්තේ මෝටර් රථයක නඩත්තු කටයුතු සිදු කෙරෙන අතරතුරදීය. එහිදී එකවර විශාල ශබ්දයක් සහිතව පිපිරීම සිදු ව ඇති අතර හටගත් ගින්නෙහි ගිනිදළු අහසට විසි වී තිබේ. ගින්නෙන් පිළිස්සුණු ද්‍රව්‍යවල සුන්බුන් එහි සිටි රථවාහන රියදුරන්ගේ හිසට වැටි ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment