දේශපාලන රැකවරණ මත ගිංගඟේ වැලිගොඩ දැමීම හා කැලෑ කැපීම: හිටපු IGP OICගේ මූලික අයිතීන් කඩලා

3027

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ දුන් තීන්දුව

පෙත්සම්කරු කතරගම පොලිසියේ දැන් සේවය කරන නිසා පෙර සිටි පොලිසියට යවන්නැයි නියෝග කරන්නේ නැහැ

තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එල්. එම්. ජනක්ප්‍රිය මහතාට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමෙන් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එම නිලධාරියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15 දා) තීන්දු කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තෙලිකඩ පොලිස් බල ප්‍රදේශය තුළ දේශපාලන රැකවරණය ඇතිව සිදු කළ විවිධ අනීතික ක්‍රියා විශේෂයෙන් ගිංගඟේ සිදු කළ අනවසර වැලි ගොඩදැමීම් හා අවට වනාන්තර විනාශ කිරීම් වැනි නීති විරෝධී ක්‍රියා මැඬපැවැත්වීමට තමන් සෘජුව ක්‍රියා කිරීම නිසා තංගල්ල පොලිස් කොට්ඨාසයට තමාට හදිසි ස්ථාන ගත මාරුවක් ලබාදුන් බවත් එමඟින් වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරු අධිකරණයට කියා තිබිණි. එකී පෙත්සම සම්බන්ධයෙන් පූර්ණ නඩු විභාගයක් පැවැත්වූ විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල පළමුවන වගඋත්තරකාර හිටපු පොලිස්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව අනුව සැමට එකලෙස සැලකීම් ලැබීමට පෙත්සම්කරුට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළහ.

කෙසේ නමුත් පෙත්සම්කරු මේ වනවිට කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහුට නැවත පෙර සේවය කළ පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසට තම අධිකරණය නියෝගයක් නිකුත් නොකරන බව ද විනිසුරු මහින්ද සමයවර්ධන හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ එකඟතාව ඇතිව විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රකාශයට පත්කරන ලද එම තීන්දුව මගින් පෙන්වාදී තිබිණි

එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් සරත් වීරසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

එලෙස තෙලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට 2021.08.09 වැනිදා ලබාදුන් පොලිස් ඇමතුමක් මගින් ස්ථාන මාරුවක් ලබාදී තිබිණි.

නීතිඥ බුද්ධික තිලකරත්න, සුදර්ශන ද සිල්වා සහ නීතිඥ සහන් වීරසිංහ යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිස්ට ආරච්චි මහත්මිය වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment